කොරෝනා වෛරසය පැරදවීමට වෙර දරන සෞඛ්‍ය අංශය වෙනුවෙන් ඇට්ලස් සමාගම රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරයි

හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දුරස්ථව පරික්ෂා කිරීමේ සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර සිදු කළ හැකි ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් (AGV) නිර්මාණය කර එය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කළේය. මෙම නිර්මාණය මුළුමනින් ම ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් වීම විශේෂත්වයකි.

මෙවැනි රොබෝ යන්ත්‍රයක් මෙරට නිර්මාණය කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයවන අතර එහි මුල් ආකෘතිය මේවන විට හෝමාගම මූලික රෝහලේ අත්හදා බැලෙමින් පවතී. මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කළ ඇට්ලස් කණ්ඩායම ද ඕනෑම ගැටළුවක් ඇති වුවහොත් එය අවබෝධ කර ගැනීම සහ ඊට පිළියම් යෙදීම සඳහා රෝහල් කාර්යමණ්ඩලය සමග සමීපව කටයුතු කරමින් සිටී. කොරෝනා වසංගතය දුරලීම සඳහා තවත් ඒකක නිෂ්පාදනය කිරීමට ඉදිරිපත්වන තෝරාගත් පුද්ගලයන් සහ ආයතන වෙත මෙම මුල් ආකෘතියේ තාක්ෂණය ලබා දීමට ද ඇට්ලස් සමාගම අපේක්ෂා කරයි.

කොළඹ සෞඛ්‍ය සේවා කලාප අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා මෙම මුල් ආකෘතියේ ක්‍රියාකාරිත්වය බෙහෙවින් ප්‍රශංසාවට ලක් කළේය. "දේශීය සමාගමක් විසින් වෛද්‍ය සේවා සහය සඳහා රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කිරීම සැබවින් ම විශිෂ්ටයි. මෙවැනි වසංගත තත්ත්වයකට එරෙහිව සටන් කිරීමේදී තාක්ෂණික වැඩිදියුණු කිරීම් ඉතාම වැදගත්. සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍යය අවදානමේ හෙළීමෙන් තොරව රෝගීන් හට සේවය සැලසීමට හැකි වීම COVID-19 වෛරසයට එරෙහි සටනේ දැවැන්ත ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි," යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම රොබෝ යන්ත්‍රය, රෝගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම වැනි මූලික වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට අමතරව රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාවෙන් ද යුක්තය. එහි සවිකර ඇති කැමරා පද්ධතිය හරහා වෛද්‍යවරුන්ට දුරස්ථව රෝගියා සමග සංවාදයේ යෙදෙමින් රෝගියා පරික්ෂා කිරීමේ හැකියාව ලබා දී ඇත. තවද, සෞඛ්‍ය සේවකයින් ස්පර්ශ කිරීම උපරිම මට්ටමින් පාලනය කිරීම සඳහා මෙම රොබෝ යන්ත්‍රය රැහැන් රහිත (වයර්ලස්) ආරෝපණ හැකියාවෙන් ද යුතු වෙයි. මෙමගින්, රෝගීන් පරික්ෂා කිරීම ස්වයංක්‍රියකරණය කර ඇති බැවින්, සිය සෞඛ්‍යය රැක ගන්නා අතරම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ සටනට අඛණ්ඩව දායකත්වය ලබා දීමට ද සෞඛ්‍ය අංශයේ සේවකයින් හට අවස්ථාව උදා වේ.

ඇට්ලස් ඇක්සිලියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අසිත සමරවීර මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳ සඳහන් කළේ, "COVID 19 වැනි අභියෝගාත්මක වසංගත තත්ත්වයක් තුළ සෞඛ්‍ය අංශ මුහුණ දෙන අභියෝගවලට විසඳුමක් ලබා දීමට සමත් වූ අපගේ කණ්ඩායම පිළිබඳ මා බෙහෙවින් ආඩම්බර වනවා. මෙම වසංගතයට එරෙහිව දියත්කර ඇති ජාතික මෙහෙවරට දායකත්වය ලබාදීම සඳහා අප මෙම නිමැවුම දායාද කරනවා. හෝමාගම රෝහල COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් වෙනුවෙන් ම වෙන් කෙරුණු රෝහලක් නිසා අප ඒ සඳහා මෙම මුල් ආකෘතිය පරිත්‍යාග කරනවා” යනුවෙනි.

"වසර 60 ක කාලයක් පුරා ජාතික වගකීම වෙනුවෙන් කැපවුණු සමාගමක් ලෙස අප මෙරට තුළ ආයෝජන සිදු කරමින් ශ්‍රී ලාංකේය ආර්ථිකයට දායකත්වය ලබා දීම අරමුණු කර ගනිමින් අපගේ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා. අපගේ කණ්ඩායම විසින් සිදු කරන ලද මෙම නව නිපැයුම, රට මුහුණ පා සිටින තීරණාත්මක තත්ත්වය තුළ ඵලදායී ලෙස ඊට මුහුණ දීමට අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇතැයි අපගේ විශ්වාසයයි,"

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මේවන විට වෛරසය ආසාදනය වූ රෝගීන් සමග සමීපව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් භාවිත කරන පුද්ගල ආරක්ෂක මෙවලම් (PPE) කට්ටලය පැළඳ සිටීම ඉතාම අපහසුවන අතර මෙම රොබෝ යන්ත්‍රය මගින් එම අපහසුතාව විශාල වශයෙන් ඉවත් කිරීමට හැකි වී ඇත.

හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය පාලක වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා, මෙවැනි තීරණාත්මක අවස්ථාවක රට වෙනුවෙන් පෙරට පැමිණීම පිළිබඳ ඇට්ලස් ඇක්සිලියා සමාගමට සිය ස්තූතිය පුද කර සිටියේය. "මෙවැනි අවස්ථාවක වැදගත්ම දෙය වන්නේ අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සෞඛ්‍යය රැක ගැනීමයි. මන්ද, එක් සේවකයෙකුට වෛරසය ආසාදනය වුණොත් සමස්ත කණ්ඩායමටම නිරෝධායනය වීමට සිදුවන නිසා එවිට සමස්ත ක්‍රියාවලියම අඩපණ වීමට හැකියි. හෙද කාර්යයන් ඉටු කිරීම සඳහා රොබෝ යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම මගින් වාට්ටු තුළ වෛරසය ව්‍යාප්ත වීම සැලකිය යුතු මට්ටමකින් අවම කර ගත හැකියි. රෝගීන් සමග සමීපව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් පැළඳිය යුතු PPE කට්ටල මිලෙන් අධික නිසා, එම කට්ටල සඳහා රජයට දැරීමට සිදුවන පිරිවැයත් මෙමගින් අවම කර ගත හැකියි"

ඇට්ලස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/මෙහෙයුම් අධ්‍යක්ෂ විරාජ් ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් එම සමාගමේ නිෂ්පාදන සහ ඉංජිනේරු අංශය විසින් මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කරන ලදි. ඇට්ලස් සමාගමේ නිෂ්පාදන කර්මාන්තශාලාව තුළ භාණ්ඩ එහා-මෙහා ගෙන යාම සඳහා සහකරුවෙකු ලෙස මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කෙරුණු අතර, වසංගත තත්ත්වය පැන නැගීමත් සමග මෙය දුරස්ථව රෝගීන් පරික්ෂා කළ හැකි යන්ත්‍රයක් ලෙස වැඩිදියුණු කිරීමට එම කණ්ඩායම ඉදිරිපත් විය.

"අපගේ කණ්ඩායම දිවා-රෑ වෙහෙසෙමින් සමස්ත රොබෝ යන්ත්‍රය ම, COVID 19 වෛරසය ආසාදනය වූ රෝගීන් හට ප්‍රතිකාර කිරීමේ දුරස්ථ ක්‍රමයක් ලෙස වැඩිදියුණු කිරීමට පසුගිය දින කිහිපයේ කැප වුණා. රෝගීන් සමග සමීපව කටයුතු කිරීමට සිදුවන සෞඛ්‍ය සේවකයන් අඛණ්ඩව එම අවදානමට ලක් වෙනවා. විවිධ වාට්ටුවල ඇඳන් වෙත යාමට මෙම රොබෝ යන්ත්‍රයට හැකි නිසා, අපට වාට්ටුව තුළට ඇතුළුවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි වනවා. COVID 19 වෛරසයට එරෙහිව සටන් කරන තවත් සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් යන්ත්‍ර නිර්මාණය කිරීමට ඉදිරිපත්වන අනෙකුත් ආයතනවලට ද මෙම තාක්ෂණය යොදා ගන්නා ලෙස අප ආරාධනා කර සිටිනවා." යනුවෙන් විරාජ් ජයසූරිය මහතා අදහස් පළ කළේය.

පවත්නා තත්ත්වය පහව ගිය වහාම, මෙය තවත් වැඩිදියුණු කිරීමේ අරමුණින් පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට ද ඇට්ලස් සමාගම අපේක්ෂා කරයි.

 Photo 02 The Atlas team with the AGV prototype

 

Photo 02 The Atlas team with the AGV prototype

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com

Latest News