මල්තුහින නැති යාපනය හරහා නාගදිපයට ගියෙමු

දඩ දඩස් සද්දය සහ කුචු කුචු හඬ කෝච්චියකට කොතරම් අනන්‍ය වුනත් කොළඹ සිට යාපනය ඉක්මවා කන්කසන්තුරේ හෙවත් KKS දක්වා දිවෙන අලූත් යාල් දේවියට ඒ ශබ්දය එතරම්ම හුරු නැතිබව දැනුනේ චීනයේ සිට මෙරටට පැමිණ,නළලේ තිලකයක් තබාගෙන ලංකාවේ යකඩ පීලි මත දිවයද්දී යාල් දේවිට මීට දශක කිහිපයකට නිහඬවූ හඬ අමතකවූ පරිද්දෙන්ය.

වාඩිවෙන්නට ඉඩ නැති නිසාවෙන් පුළුල් දොර විවරය අසල බිම ඉඳගෙන යාපනය බලා දිවයන දුම්රිය පසුකරන සීමාව දෙස බලාඋන්නෙමු. වවුනියාව පසුවෙද්දි හමුවන බොහොමයක් දුම්රිය පොළ අලූතින් සකස්කරන ලද ඒවා වූ අතර මගීන්ගෙන් අඩුවක් නොමැතිව පැවතිනි.

යාල් දේවියගේ ගමන අතරමග නතරවූයේ කුරිරු යුද්ධයේ අතුරු ප‍්‍රතිඵලයක් නිසාවෙන්ය. එය හුදෙක් දුම්රිය ගමනක නතරවීමක් පමණක් නොව උතුර සහ දකුණ අතර රුධිරයෙන් බැඳුණු නහරයක් කපා දැමුවාක් වැනි සිදුවීමක් විය. උතුර සහ දකුණ අතර තිබුණ සබඳතා ඈත්වීමට යාල් දේවියගේ ගමන අතරමග නතරවීම බෙහෙවින් බලපෑ අතර අද නැවත උතුර දකුණ යාකරන බැම්මක් පරිද්දෙන් දිනපතා ගමනේ යෙදෙන මේ සොඳුරු යකඩ ගොඩ නිසාවෙන් එදිරිවාදීව සටන්කල සිංහල-දෙමළ මුහුණු මෙන්ම හදවත්ද එකම මැදිරියකදී එකට හමුවේ.

 

අප බිම වාඩිවී සිට දොර අසලම අපේ ඉදිරියෙන් බිම වාඩිවී සිටියේ යාපනයේ දෙමළ ජාතික තාත්තා කෙනෙක් සහ කුඩා දියණියන් තිදෙනෙකි. කුඩාම දියණිය කුතුහලයෙන් මෙන්ම මිත‍්‍රත්වයෙන් පිරි දෑස් නිතරම අපවෙත යොමුකර සිහින් සිනා රැල්ලක් මුදාහරින්නට ලෝබවූයේ නැත. වෙඩි හ`ඩ මැද්දේ උපන් ඇයගේ පරපුරට මේ යාල්දේවි ගමන සොඳුරු මතක සටහනක් වනවා නොඅනුමානය.

’පෙයර් එන්න’

මා ඇසූ පැනයට ඇස සිනාසී පිළිතුරු දුන්නේ ’නිත්‍යා’ යනුවෙන්ය. ඇයගේ සහ මාගේ මිත‍්‍රශීලී කෙටි පිළිසඳරට මදහසින් මෙන්ම සහෝදරාත්මකව එක්වුණු ඇගේ පියා ඉන් අනතුරුව නිරතුරුවම යාල් දේවිය ගැස්සෙන විට දොර අසලම සිටි අපේ පරිස්සම ගැන සෑහෙන්න වෙහෙසවෙන බව දක්නට ලැබුණි. අප වැනි හිත් ලක්ෂ ගණනක් දශක තුනක් තිස්සේ යුද්ධයක් නිසාවෙන් සහ දශක හයක් තිස්සේ බෙදී වෙන්වීයාමේ උත්සහයන් නිසාවෙන් වනේ වන හතුරන් බවට පත්වූයේ කාගේ වරදින්දෝ යන පැනය පමණක් ඉතිරිවේද්දි චාවකච්චේරිය පසුකර අපි යාපනයේ දුම්රිය පොලෙන් ගොඩ බසිද්දී අප සමග සිටි විදේශීය මිතුරිය පෙරකී දැරියන් සමග ස්වයං-ඡායාරූපණයකට එක්වෙනු දැකිය හැකිවිය. ඒ සුදු හම සහ කළු හම අතර ලොකු වෙනසක් නැතිබව ඇය මනාව පෙන්වා දුනි.

’නාග විහාරේ ඉස්සරහා කඬේට යමු, කාලෙකින් ගියේ නෑ’

යාපනය ශික්ෂණ රෝහල පාරේ නාග විහාරය දෙසට ගමන් කර එය ඉදිරිපිට ඇති සුප‍්‍රසිද්ධ හෝටලයෙන් යාපනයේ ආහාර සංස්කෘතිය උපරිමයෙන් පෙන්වන ’දෝසායි’ නොහොත් සිංහලයන්ට ’තෝසේ’ නම්වන ආහාර වේලක් භුක්ති විඳින්නට ඉඩක් ලැබිණි. සවස් භාගයේ යාපනයේ වීදිවල එතරම් ජනතාවක් නොවූ අතර යුද්ධයෙන් පසු යාපනය නගර සීමාවේ ජීවත්වන්නේ සීමාසහිත පිරිසක් බව දැනගන්නට ලැබුණි. යාපනයේ තරුණ තරුණියන් මෙන්ම බාල මහළු භේදයකින් තොරව පැදගිය බයිසිකල් ප‍්‍රමාණය කෙමෙන් අඩුවී යන බවත් ඒ වෙනුවට ඉන්දියානු සන්නම් නාම සහිත ස්කූටර් එතැනට පත්වෙමින් ඇතිබව පෙනේනනට තිබුණි. එහෙත් තවමත් බයිසිකලයේ පිටුපස ගමන් කරන්නා පැත්තට වාඩිවී ගමන් කිරීමේ පුරුද්ද ඔවුන්ගෙන් නික්මී නැත. පැත්තට ගමන්කලත්, කෙලින් අසුන්ගෙන ගමන්කලත් පේ‍්‍රමවන්තයින්ට එය බාධාවක් නොවන බවට යාපනය තරම් වෙනත් නිදසුනක් නැතිබව අවබෝධ කරගන්නට එතරම් වේලාවක් අවශ්‍ය නොවීය. අපේ නවාතැන වූ යාපනය-නුවර පාරේ කච්චේරිය ආසන්නයේ ඇති කුඩා හෝටලය සහ එහි උණුසුම්කරන ලද ජලය පසුදින බලාපොරොත්තුව වූ නාගදීපය බලායන ගමනට ඉතා හොඳ උත්තේජනයක් සැපයූ බව කිව යුතුමය. රාත‍්‍රී නින්දේදී එදා යාපනය නගරයේ ඇසුණ වෙඩි හඬ හෝ මෑතකදී ඈතින් ඇසුණු මෝටාර් හඬද නොවුණු අතර ඒ වෙනුවට ගණ දෙවියන් වෙනුවෙන් නිර්මිත කෝවිලක යාතිකා හඬ මධුර ස්වරයෙන් ඇසෙන්නට විය. යාපනයේ අද තත්ත්වය ගැන හොඳම අර්ථකථනය සැපයූවේ එයයි.

 

පසුදින යාපනය නගරය හරහා පා ගමනින් ඇවිදගිය අපට දැකගන්නට හැකිවූ බොහෝ දේ අතර දැනුන එක් හැඟීමක් නම් මීට වසරකට පෙර යාපනයට පැමිණි අවස්ථාවේ තිබූ සීඝ‍්‍ර පිබිදීම සහ දියුණුව යම්තාක් දුරට ඇණහිට ඇති ආකාරයයි. අප ලැගුම්ගත් නවාතැනේ කළමණාකරුගෙන් ඒ පිළිබඳ විමසීමේදී මුලින්ම දැනුනේ කණගාටුවක් මෙන්ම එක්තරා අන්දමක ලැජ්ජාවක්ය. සිංහල හරියාකාරව කථාකල නොහැකි දමිළ ජාතිකයෙක් වූ ඔහුට සහ දෙමළ භාෂාව හරිහැටි හැසිරවිය නොහැකි මා හට අදහස් හුවමාරු කරගැනීමට සිදුුවූයේ ජාත්‍යන්තර භාෂාව වූ ඉංග‍්‍රීසි භාෂාව භාවිතා කරමින්ය. එක් පැත්තකින් එය දෛවයේ සරදමකි,ඒ ගැන ලැජ්ජාවිය යුත්තේ කව්ද කියා ගැටළුවක් ඇත. එහෙත් අනික් පැත්තෙන් ජාත්‍යන්තර මැදිහත්වීමකින් හෝ මේ ගොඩනැගෙන අතීත සහෘදත්වය අපිට මෙන්ම රටට ද හොඳක් බව අවබෝධකරගත යුතුය. ජාත්‍යන්තර භාෂාවේ උපකාරයෙන් ඔහු කිව්වේ ඉතා බරපතල කතාවකි.

’ඇත්තටම යාපනේ යුද්ධෙන් පස්සේ හොඳ සංවර්ධනයක් වෙමින් තිබුණා.මිනිස්සුත් බොහොම උනන්දුවෙන් තමන්ගේ ජීවිත ගොඩනගාගන්න උත්සහකලා.යාපනය, කිලිනොච්චි, කොඩිකාමම්, කන්කසන්තුරේ බොහොම වේගෙන් දියුණුවෙමින් තිබුණා. ඒත් අද ඒ සංවර්ධනේ මොකක්දෝ හේතුවක් මත කඩාගෙන වැටිලා. සංචාරකයෝ යාපනේ සුන්දරත්වය දිහාවට ඇදගන්න හරි වැඩ පිළිවෙලක් නෑ, රජයත් ඒකට යමක් කරනවා කියලා පේනන් නෑ. ඊටත් වඩා නරකම තත්ත්වය තමයි දැන් යාපනේ මිනිස්සු මෙහේ දේශපාලඥයන් ගැන විශ්වාස කරන ප‍්‍රමාණය වේගයෙන් අඩුවෙමින් තිබෙනවා. ඒ නිසා මිනිස්සු දේශපාලනික වශයෙන් හුදෙකලා වෙමින් යනවා. ඒක නිසා දියුණුවත් මග ඇණහිටලා’

අපි යාපනේ සංචාරය කරන අවස්ථාවේත් එහි පුද්ගලික බස් රථ වර්ජනයක් පැවතිනි. ඒ අංශයෙන්නම් ඔවුන් නැවතත් වේගයෙන් දකුණේ වාතාවරණයට ලඟාවී ඇත, එක පැත්තකින් ඒ ගැන සතුටුවිය හැකිය. යාපනයේ සිට නාගදීපය නොහොත් නයිනතිව් වෙත යාමටනම් ගොඩබිම් මාර්ගයේ කුරියකට්ටුවාන් ජැටිය දක්වා බස් රථයකින් හෝ පුද්ගලික වාහනයකින් ගමන්කල යුතුය. කුරියකට්ටුවාන් වෙත යන ලංගම බස්රථයකට නැගී පැයක කාලයක් කිලෝමීටර 30 ක පමණ දුරක් අපි ගමන් කළෙමු. කයිට්ස් මාර්ගයෙන් වේලනායි හරහා පුංකුඩුතිව් දූපතේ කෙලවර ඇති කුරියකට්ටුවාන් ජැටිය වෙත පැමිණෙන විට අප පැමිණි බස් රථයේ බහුතරයක් සිටියේ නයිනතිව් දූපතේ අම්මාන් කෝවිලේ ඒ දිනවල පැවැත්වුණ දේව මංගල්‍යයට සහාභාගීවන්නට යන බැතිමතුන්ය. තමන්ට ඇති හොඳම ඇඳුම් ආයිත්තම්වලින් සැරසී බොහොම භක්තියෙන් වන්දනාවේ යන ඔවුන් සමග කුරියකට්ටුවාන් ජැටියෙන් ආරක්ෂිත කබා ද පැළඳ බෝට්ටුවට ගොඩවිය.

 

ලංකා කොඩිය මුදුනේ ලෙලදුන් බෝට්ටුවේ වූයේ මේ දැන් නවතියිදෝ සිතෙන මට්ටමේ එන්ජිමක් වූ අතර ආරක්ෂිත කබාද බෙහෙවින් දුබල තත්ත්වයේ පැවතිනි. රුපියල් 30ක මුදලකට විනාඩි 15-20 ක් පමණ මුහුදු මාර්ගයේ ගමන් කරන බෝට්ටුව තුල එකිනෙකාගේ මුහුණ බලාගෙන තිහකට ආසන්න මගීන් පිරිසක් සිටි අතර ආගන්තුක අත්දැකීමක් මෙන්ම බෝට්ටු එන්ජිමේ අධික ශබ්දය නිසා සිනහවක් මිස අන් කිසිවක් අප අතර හුවමාරු නොවීය.

’අපි ඉන්නේ නැවත පදිංචිකරපු ගමක, දැන් අපේ ගමේ මිනිස්සු ටික ටික ආයෙත් පුරුදු ජීවිතේට ඇවිත්. දෙවියන්ට පින්සිද්ධ වෙන්න දැන් යුද්දේ නෑ, අපිට ආයෙත් අපේ ඉඩම් ලැබිලා, කලින් හිටපු ගමට එන්න ලැබිලා. අපේ ගෙදර දෙපැත්තේ ගෙවල්වල හිටපු මිනිස්සු ජීවතුන් අතර නෑ, ඒත් කොටි අරගෙන ගියපු එක දරුවෙක් හමුදාවේ පුනරුත්ථාපනේ ඉවරකරලා ඇවිත් දැන් එක ගෙදරක පදිංචි වෙලා වගා කරනවා. අපිට දැන් හිතේ සතුටක් තියනවා මහත්තයෝ, ඒත් අපේ තවත් නෑදෑයන් කට්ටියකට තාම ඉඩම් ලැබිලා නෑ, ඒ අයටත් ඉඩම් ලැබුණම ආයෙත් හිතේ සතුට ලැබේවි’

නාගදීපයේදී හමුවුණ කරෙයිනගර් ප‍්‍රදේශයේ ජීවත්වන සිවලිංගම් සිංහල දෙමළ මිශ‍්‍රවූ එහෙත් සංවේදී කථනය තුලින් අපිට ගෙන ආවේ එක් පැත්තකින් සැනසිල්ලකි. ජාතීන් දෙකක එකම රටක මිනිස්සු එකට වාඩිවී කතාබහ කරමින් අත්දැකීම් බෙදාගන්නට ලැබීමම එක්තරා ආකාරයක ජයග‍්‍රහණයකි. මේ මිතුරුකම නොඉවසන දේශපාලන න්‍යායපත‍්‍ර විසින් නිර්මාණය කරනු ලැබූ පසමිතුරුකම කෙමෙන් කෙමෙන් අප කෙරෙන් ඈත්වී යන අයුරු පෙනෙන්නට ඇත. නාගදීපය මෙන්ම අම්මාන් කෝවිලද වඳින්නට ගිය අපිට භේදයක් නොදැනුනේ ඒ නිසා වන්නට ඇත. සිත්සේ නාගදීපයේ සැරිසරමින් කාලය ගතකරද්දී සිහිවුණේ යුද්ධය අවසන් වන්නට පෙර දකුණේ ඇසුණු ගීයක පද පෙළකි.

"මලත් කමක් නැහැ මලක් අරන් මම නාගදීපේ ආවා"

නමුත් මරණ බියක් නැත, හිතේ නිදහසේ නාගදීපයට නොව යාපනය අර්ධද්වීපය පුරාවට සංචාරයක කල හැකිය. බොහෝ දේ සාමාන්‍යකරණය වෙමින් පවතී. ඈතින් පෙනෙන ඩෙල්ෆ් ඇතුළු දූපත් ගණනාවක් පෙනෙද්දි අම්මාන් කෝවිල අසල ජැටියෙන් අපි නැවත බෝට්ටුවට ගොඩවූයේ යාපනය බලා එන්නටය. අප එනතුරු කුරියකට්ටුවාන් ජැටියේ බස් රථයක් බලාසිටියහ. සෙනග පිරුණු බස් රථයේ සිටි අති බහුතරයක් දෙමළ ජාතිකයන් එසේ නොවන අපි කිහිපදෙනා දෙස කුතුහලයෙන් බලන්නට විය. ඒ අතර විටින් විට ඇතැම් අය හොරෙන් අප දෙසා බලා ඉවත බලාගනිද්දි වරක් හිතට ඇතිවූයේ ඒ බැලීම් සම්බන්ධයෙන් තරහකි.

’ඒත් පහුගිය අවුරුදු තිහ හතළිහ කාලේ දකුණට දෙමළ මනුස්සයෙක් එන වාරයක් ගානේ අපි උන් දිහා බැලූවෙත් ඔහොමම තමයි නේ, එතකොට මේ හැඟීම මීටත් වඩා තදින් උන්ට දැනෙන් ඇති. මොකද අපි උන් හැමෝම දිහා බලපු බැලිලිලේ ත‍්‍රස්තවාදී ලේබලේකුත් අලවලා තිබුණ නිසා’

හිත විසින් පැහැදිලිකරදුන් ඒ කරුණ සමගින් බස් රථයේ ආගන්තුක බැලූම් හෙලීම් සිනහවකින් ඉවසන්නට පටන් ගත්හ. ඉන් අනතුරුව එකින් එක පිළිතුරු සිනහා ගලා එන්නට විය. ඉන් පසු අපි කලක් සශ‍්‍රීක භූමි වශයෙන් පැවති අද මුඩුබිම් ලෙස ඉතිරිව ඇති යාපනය අර්ධ ද්වීපයේ සොඳුරු වපසරිය පසුකරමින් එන්නට විය. අදටත් යාපනයට අනන්‍ය මිදි යුෂ පානය, නෙල්ලි පානය, කොට්ටකිලංගු, තල් හකුරු ඇතුළු බොහෝ දේ නගරයෙන් මිලට ගැනීමට ඕනෑ තරම් කඩ සාප්පු නගරයේ විවෘතව ඇත. දකුණට පොල් ගස මෙන් උතුරට කප්රුකක් වන තල්ගහේ නිෂ්පාදන ’කටපහම්’ බෝඞ් ලෑලි යටතේ මිලදී ගැනීමට ඇත. එතරම් සංචාරකයන් නොගැවසුනත් සංචාරය කිිරීමට,නැරඹිමට ඕනෑ තරම් ස්ථාන සහ දේ යාපනයේ ඇතිබව කිව යුතුය.

දකුණේ සිට සීමාකාරී මානසිකත්වයෙන් උතුර දෙස බලනවාට වඩා යාපනයට පැමිණ උතුරේ ජනතාවගේ සැබෑ හෘද ස්පන්ධනය ඇසුරු කල යුතුය. එවිට ඔවුන්ගේ මිත‍්‍රශීලීත්වය මෙන්ම ශ‍්‍රී ලාංකික බව ඉස්මතුවෙනු ඇත, ඒ තුල දෙමළ ඊළමකට කිසිඳු ඉඩක් නැති බව අවබෝධකර ගන්නට යාපනයේ ගතකල සීමිත දින ගණන ප‍්‍රමාණවත් විය. යාපනය තුලදී අපිට මල්තුහින දක්නට නොලැබුණි, එහෙත් ලංකාව නැමති රටේ යාපනය නැමති සොඳුරු පුරවරය පමණක් දක්නට ලැබුණි. එය ඔබද විඳිය යුතුම අත්දැකීමක් බව පමණක් අවසන ලියා තබන්නට කැමැත්තෙමි.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com