ඔන්න මලේ - යමු තන්තිරිමලේ

අනුරාධපුරය කියන්නේ පයින් ඇවිදලා ඉවරකරන්න පුළුවන් පළාතක් නෙවෙයි කියලා ඉස්සර ඉඳන් හොඳින්ම දැනගෙන හිටපු නිසා ඒ පොළවට අඩිය තියන හැම මොහොතෙම මොකක්හරි බයිසිකල් කටුවක් හරි හොයාගෙන ඇවිදන එක තමයි වඩාත්ම හොඳ.

පොසොන් කාලෙට වැඩිපුර ඇහෙන, ඒත් කවදාවත්ම යන්න බැරිවුණු තන්තිරිමලේ තමයි අපේ වන්දනාවේ ගමන් ඉලක්කය වුනේ. නිවන්තක චේතිය පිරි‍වෙණ හෙවත් අපි කවුරුත් දන්න තොළුවිල ඉස්සරහ පිහිටලා තියන ඛනිජ තෙල් සංස්ථාවේ රැකියාව කරන හිතවත් අයියා කෙනෙක්ට ස්තූතිවන්ත වෙන්න අපිට බොහොම අගේ ස්කූටරයක් ලැබුණා තන්තිරිමලේ දක්වා යන්න. 

18 2 12b

අපේ ගමන් මාර්ගය වැටුණේ මෙන්න මේ සිතියමේ තියන මාර්ගයම තමයි. එක්කෝ අනුරාධපුර නව නගරය හරහා තන්තිරිමලේ මාර්ගයේ යන්න පුළුවන්, එහෙමත් නැත්නම් අනුරාධපුර පැරණි නගරය පැත්තෙන් ඇවිත් පූජා නගරය හරහා බටහිර ආරාමය පසුකරලා තන්තිරිමලය මාර්ගයේ ගමන් ගන්න පුළුවන්. අපි ගමන් කලේ ඔය දෙවනියට කියපු මාර්ගයෙන්. හරියටම කිලෝමීටර 43 කට ආසන්න දුරක් ගෙවන්න ඕන මේ පාරෙන් තන්තිරිමලේට යන්න. අවශ්‍යමනම් අනුරාධපුරය-තන්තිරිමලේ පොදු ප්‍රවාහන බස්රථයකින් වුනත් පැයකට ආසන්න කාලයකින් මේ ගමන යන්න පුළුවන්.

මේ මාර්ගය පුදුමාකාර ලස්සන පාරක්, නගරයෙන් ටිකෙන් ටික ඈත් වෙන්න අපිට හමුවෙන්නේ එච්චර හුරුපුරුදු, නිතර ඇහෙන නම් නෙවෙයි. ඒත් ඒ නම්වල තියෙන්නේ පුදුමාකාර සුන්දර බවක්. ඉලුප්පුකුලම,පුසියන්කුලම,ඇලයාපත්තුව,පුලියන්කුලම වගේ නම් විතරක් නෙවෙයි ඒ පරිසරයත් පුදුමාකාර විදිහට සුන්දරයි. අතරේ අපේ මතකයේ හොඳටම රැඳුණු නමක් තමයි “නෙල්ලිකුලම“ ඒකට එක හේතුවක් තමයි අපි උදේ කෑම කෑවේ නෙල්ලිකුලමේ පාර අයිනේ තියන පුංචි කඩේකින්, ඒ පළාත්වල ෆ්‍රයිඩ් රයිස්, කොත්තු කඩ හන්දි ගාණේ නැතිවුණාට මිනිස්සු තාමත් කටට රහට වස,විස නොදාපු ගමේ කෑම වේලක් කාලා අගේට ජීවත් වෙනවා. නෙල්ලිකුලම මතක හිටින්න අනිත් හේතුව තමයි නෙල්ලිකුලම පන්සල. මේ විහාරස්ථානයේ මැතකදී ඉදිකරන ලද බුදුන් ප්‍රමුඛ පන්සීයක් මහ සඟ සමූහයේ ප්‍රතිමා නිර්මාණය කර තිබීම නිසාම මේක බොහොම ප්‍රසිද්ධ වන්දනා පොලක් බවට අද වෙනකොට පත්වෙලා ඉවරයි.

18 2 12h

කොහොමවුනත් අපි නෙල්ලිකුම, ඇලයාපත්තුව, ඔයාමඩුව පහුකරගෙන, පුලියන්කුලම හරහා තන්තිරිමලේ දිහාවට ස්කූටරයෙන් ගමන් කරමින් හිටියා. බයිසිකලයේ වේගය කිසිම විටක පැයට කිලෝමීටර් 40 ඉක්මවා ගියේ නෑ. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි, අවට පරිසරයේ ලස්සන විඳින්නට ඇස්දෙකට තියන ආසාව නිසා. මගේ ගමන් සගයා වුණ ගෑණු දරුවා හිටියෙත් බයිසිකලේ පිටිපස්සට වෙලා ඒ සුන්දරත්වයෙන් මුසපත් වෙලා. ලංකාවේ රජරට කලාපයේදී දකින්න පුළුවන් වඩුකුරුළු කූඩුවලින් පිරුණු තුරුයාය ගණනාවක් අපි පහුකරමින් ගියා. දැයට කිරුළ නිසා පාරවල් නම් හරි අපූරුවට සංවර්ධනය වෙලා, ගමන හරි පහසුයි. ඒත් ඒ කිරුළ මේ පළාතේ මහා තුරුවලට කිරුළ පළදනවා වෙනුවට මහා කඳන් පිටින් ලී මෝලට දක්කාගෙන යාමේ ප්‍රතිඵලයක් විදිහට මග දෙපස මහා පාළුවක් නිර්මාණය වී තිබුන බව අපිට දැනුනා.

ඒ විතරක්ම නෙවෙයි පුලියන්කුලම පහුවෙද්දි විල්පත්තුවේ මායිම තන්තිරිමලේ- අනුරාධපුර මාර්ගය සිපගන්නවා. විල්පත්තුව ඇතුලට ගිහින් රහස් පොලිස් මෙහෙයුමක් කරලා නොසෙව්වාට විල්පත්තතුවට සිදුවෙන සංහාරය ඒ පැත්තට යද්දි ඕනම සිහිබුද්ධියක් ඇති පුද්ගලයෙක්ට දකින්නත් පුළුවන්. අපි මේ සිතිවිලි සේරම හිතේ පුරෝගෙන තන්තිරිමලේ දිහාවට ගමන් කලා. ඒ වෙනකොට ටිකක් දවල් වෙනකොට පරිසරය උණුසුම්වෙලා තිබහත් වැඩිවෙලා. ලොකුම ප්‍රශ්නය තමයි මගතොට වතුර ටිකක් ගන්න තැනක් නැතිකම. ඒක නිසා තන්තිරිමලේ යද්දි මතක් කරලා අනුරාධපුරෙන් ඇතිවෙන්න වතුර ටිකක් අරන් තියාගන්න එක නුවණට හුරුයි.

තන්තිරිමලේ රජමහා විහාරයට ඇතුල්වෙන තැන බොහොම තෙදවත් විදිහට නිර්මාණය වුණු ගඩොල් පවුරෙන් වාහන ඇතුලට ගන්න පුළුවන්. පොලිස් නිලධාරීන් වුනත් බොහොම ආචාරශීලීයි. සමහරවිට අපි ගියපු දවස වන්දනාකරුවන් අඩු දවසක් නිසාද දන්නේ නෑ කියලත් හිතුනා. විහාරයට ඇතුල්වෙන තැනම විහාරස්ථානයේ පිහිටීම් සිතියම දැකබලාගන්න පුළුවන්. හොඳම දේ එය අධ්‍යයනය කරලා හරියට හැමතැනක්ම දැකබලාගෙන වැඳපුදා ගන්න එකයි. 

18 2 12g

තන්තිරිමලේ ඉතිහාසය දිහා බැලුවොත් මෙය පිළිගන්නේ ලංකාවේ ඉපැරණි වාසස්ථාන වලින් එකක් විදිහටයි. එය ඔප්පුකරන්න අවශ්‍ය ලෙන් චිත්‍ර පවා මෙහි පිහිටා තිබෙනවා දැකගන්න පුළුවන්. ඒ වගේම විජය කුමරු සමග පැමිණි පිරිසෙන් කොටසක් උපතිස්ස ගාම ලෙසින් වාසස්ථාන නිර්මාණය කරගත්තේ මේ තන්තිරිමලේ ප්‍රදේශයේ කියලා විශ්වාසයක් තිබෙනවා. මොකද ප්‍රාථමික ජනාවාස බිහිවීමට සාධකවුණු ජල මූලාශ්‍ර ගණනාවක් මෙහි පිහිටා තිබෙන නිසාවෙන්. ඒ වගේම ක්‍රි.පූ 3 වන සියවසේ තිවංක බමුණුගම ලෙස මෙම ප්‍රදේශය හැඳින්වූ බවට ලිඛිත සාක්ෂිද මෙහි තිබේ. තන්තිරිමලේ විහාරය තුල තියන කෞතුකාගාරයට පිවිසුනොත් මේ පිළිබඳ හොඳින් දැකගන්න පුළුවන්. 

18 2 12f

තන්තිරිමලේ විහාරයේ නව බුදු මැදුරට නෙළුම් මල් පොකුරක් පූජා කරලා අපි දෙන්නාගේ වන්දනා නඩය බොහොම රස්නෙට තිබුණු ගල්තලාව මතින් ගමන්කලේ තන්තිරිමලේ චෛත්‍ය දිහාවට. එතනට ගියාම බොහොම අපූරුවට මුළු තන්තිරිමලේ පුදබිමම පේනවා.ඒක හරි අපූරු දසුනක්. ඒ වගේම එතන ඉඳන් ටික දුරක් ගල්තලාව මතින් ගමන් කලාම ඉපැරණි බෝධිකරය සහිත බෝධිය වැඳපුදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉපැරණි ශිලා සැතපෙන පිළිමය. ඉතා සියුම් කැටයම් සහිත මෙම පිළිමයේ අනුරාධපුර යුගයේ ප්‍රතිමා ලක්ෂණ දකින්න පුළුවන්. ඔන්න එ්ක ඇහුණා ගමන් මගේ ගමන් සහායිකාව ගල්තලාව උඩ බඩගාගෙන කැමරාව ඒ දිහාට ඉලක්ක කරන්න පටන් ගත්තා.

18 2 12e

එතනින් ගමන් කලාම දකින්න පුළුවන් තන්තිරිමලේ අනන්‍යතාව වන සුප්‍රසිද්ධ පිහිටි ගලේ නෙලන ලද සමාධි බුදුරුව. බොහොම ශාන්ත ස්වරූපයකින් නිර්මාණය කර ඇති මෙහි වැඩ නිසියාකාරව ඉවරකන්න බැරිවෙලා කියලා බැලූ බැල්මට කියන්න පුළුවන්. ඒත් එහි සුන්දර බවේ නම් කිසිම අඩුවක් නෑ. ඊට එපිටින් පිහිටා තිබෙන්නේ තන්තිරිමලේ විහාරය තුල පිහිටි විශාල ගල් පොකුණයි. බොහොම සුන්දර නිර්මාණයක් වන මෙය පහුකරගෙන ගියාම ඉපැරණි ලෙන් චිත්‍ර දකින්නත් ඔබට පුළුවන්. චණ්ඩ හිරු රශ්මියේ කරවෙලා හිටපු අපි දෙන්නා තුරු වැල් සෙවණ යටින් ලෙන් චිත්‍ර බලන්න යද්දි දැනුනේ පුදුමාකාර සනීපයක්. 

18 2 12d

මේ ලෙන් චිත්‍ර සහ ප්‍රාථමික අක්ෂර වලින් තන්තිරිමලේ ඉතිහාසය කොතරම් දීර්ඝද කියලා ඔබට තීරණය කරන්න පුළුවන්. කොහොමවුනත් ඒ අවට තියන පරිසරය දැනටමත් වන්දනාකරුවන් නිසා යම්තාක් දුරට දූෂණය වෙලා. ඒක නිසා අපේ කාරුණික ඉල්ලීම වෙන්නේ එවැනි සුන්දර, පරිසරයක් ඇති පුදබිම් ආරක්ෂාකරගන්න බැරි උදවිය ඒ වගේ තැන්වලට නොගිහින් ඉන්නවානම් හොඳයි කියන එකයි. එහෙමත් නැතිව ඒ තැන්වලට ආදරයෙන් යන උදවිය කොතරම් සතුටින් පෙරලා පැමිණෙනවද කියලා අපි අත්දැකීමෙන් විඳගත්තා. 

18 2 12c

තන්තිරිමලේ ප්‍රදේශයේ ජනතාව බොහොම නොදියුණු පහසුකම් නිසාවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන ජනතාවක්. විශේෂයෙන් ජල ප්‍රශ්නයෙන්. වකුගඩු රෝගයත් මේ ප්‍රදේශයට බලපා ඇති නිසා පිරිසිදු ජලය කියන්නේ ඉතා දුර්ලභ දෙයක් බවට පත්වෙලා. 

කොහොමවුනත් තන්තිරිමලේ කියන්නේ ඔබ ගිහින් දැකබලා ආ යුතුම සුන්දර තැනක්. ඒ වගේම යන්න කලින් එහි ඉතිහාසය කියවලාම යනවනම් වඩාත් හොඳයි. ඒ වගේම මමත් මගේ ගමන් සහායිකාවගේ අදහස වුනෙත් පොසොන් පෝයට මහා සෙනග ගොඩක් අස්සේ ඇවිත් පෝලිමේ තන්තිරිමලේ වැඳලා යනවට වඩා නිස්කලංකව වෙනත් දවසක ඇවිත් මේ සුන්දර භූමිය දැකබලාගෙන යන්න පුළුවන්නම් වඩාත් වටිනවා කියන එකයි. ඒ මතකයත් එක්ක අපි ආයෙත් අනුරාධපුරය දිහාවට එන්න හැරුණා. ඒ පැත්තට හැරෙන්නේ නැතිව තන්තිරිමලේ පහුකරලා තවත් කිලෝමීටර විස්සක් විතර ගියොත් හමුවෙන්නේ මැදවච්චිය-මන්නාරම මාර්ගය. ඒ මාර්ගයේ තවත් කිලෝමීටර තිහක්, හතලිහක් ගියාම හමුවෙන්නේ සුප්‍රසිද්ධ මඩු දේවස්ථානය. ඉතින් එතැනත් බලන්න යන්න හිතාගෙනම යනවනම් කල් ඇතිවම කාලය කලමණාකරණය කරගෙන යන්න. 

Her - Travel Girl :) 

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com