ගමේ අවුරුද්දට අරුත් ගෙනෙන පානම අවුරුදු

වසර 1818 දී වෙල්ලස්සේ කැරැල්ලේදී ඉංග්‍රීසීන්ගේ වියරුවට මැදිව දිවි ගලවාගෙන පලා ආ සිංහලයින් නැගෙනහිර මුහුදු තීරයේ කෙළවර  පානම එහෙමත් නැතිනම් පානම් පත්තුවේ තම ජීවිකාව අලුතින් ආරම්භ කළහ. නැගෙනහිර මුහුදු තීරයේ අවසන සිංහල ගමක් ගොඩනැගෙන්නේ ඒ අයුරින් ය. දශක ගණනාවක් තිස්සේ සංස්කෘතික වශයෙන් මෙන්ම සමාජයීය වශයෙන්ද ගොඩනැගුණාවූ චූල සංස්කෘතියේ හර සංකල්ප තවමත් පානම තුළ ඇතිබව සාධක සහිතව දැකගත හැකිය.

පානම මිනිසුන් දෙස එක් කෝණයකින් බැලුවහොත්, ඔවුන් එක් පැත්තකින් පුදුමාකාර ජන කොට්ඨාශයකි, අනිත් පැත්තෙන් ඔවුන් විසින් සමාජයට අදටත් දායාද කරන ගුණාංග සහ මානව මූලිකාංග සමස්ත සමාජයටම සපයන්නේ විශ්මයාර්ථක කැටිවූ චමත්කාරයකි.සිංහල දෙමළ සම්භවයක් ඇති පානම වැසියන් බෞද්ධ දේවභක්‌තිකයෝය. උතුරු අර්ධද්වීපය තුළ තවමත් ජීවත්වන දෙමළ බෞද්ධයන්ද තවත් පානම වැසියන් වැනිම ජනතාවක් බව සිහිපත්වේ. තවමත් අව්‍යාජ වූ ගැමිකම හා බැඳුණු මිත්‍රශීලීකම හා සංග්‍රහශීලීකම උපරිමයෙන් ම පානම ජනතාවගේ සිත්සතන් තුළ ගැබ්ව ඇත. ආගන්තුක සත්කාර මෙන්ම අන්‍යෝන්‍ය බැඳීම පානම ජනාතාව තුළ ඇති උතුම්ම ගුණයයි.

“අපේ අය සිංහල, දෙමළ මුස්ලින් අයත් මේ ලඟපාත ඉඳලා තියෙනවා. ඉතින් සමහරක් අය හිතුවක්කාරෙටත් තමත් කට්ටියක් අම්මා තාත්තාගේ කැමැත්තෙනුත් කසාද බැඳලා බැඳගෙන තියෙනවා. ඉතින් මේ ජාතීන් ඔක්කොමලා කලවම් වෙලා තියෙන්නේ. මේ අය බෞද්ධ වුනත් දෙවියන්ට තමයි ලඟ.”

පානම දැනට ජීවත්වන වැඩිමහල් අපේම මිනිසෙක් ඔවුන්ගේ ආදිතමයන් ගැන කියන්නේ එවැනි කතාවකි. ඒ ප්‍රකාශයේ හිතුවක්කාර ආඩම්බරයකි. එමෙන්ම විවිධත්වය සම්බන්ධයෙන් ඇති ආත්මගත බැඳියාවකි. ඒ පානම මිනිසුන්ගේ අනන්‍ය ලක්ෂණයක් බව තේරුම්ගන්නට ඔබට යම්කිසි කාලයක් පානම ජීවත්වන්නට සිදුවනු සත්තයි.

ගමේ පන්සලත් අනෙක් පැත්තෙන් පත්තින් දේවාලයත් කතරගම දේවාලයත් (පානම ගම්වැසින් කතරගම දෙවියන් අළුත් දෙවියන් ලෙස හඳුන්වයි) ඇත. මෙම දේවාල භූමියේ වසර සිය ගණනක් පැරණි සියඹලා ගස් දෙකක් ඇත. මෙහි දෙවිවරු වැඩ වසන බවත් ලංකාවට පැමිණි ස්කන්ධ කුමරු  මෙම භූමියේ ගිමන් හැරිය බව පානම වැසියන්ගේ විශ්වාසය වී තිබේ.

දෙවියන් කෙරෙහි පානම වැසියන්ට ඇත්තේ පුදුමාකාර භක්තියකි. පානම කළපුවත් මුහුදත් අතර වැද වැටී ඇති ස්වභාවික වැලි කඳු වලල්ලෙන් පානම ගමට ලැබී ඇත්තේ  ඉමහත් ආරක්ෂාවකි. වසර පුරාම පාහේ පවතින මූදු සුළඟ ගම් වැදීම වැලෙකෙන්නේ මේ කඳු පද්ධතිය නිසාය. ඒ දෙවියන්ගෙන් භග්‍යයක් ලෙස පානම වැසියන් සලකනු ලබයි.

කෙසේවෙතත් රුහුණට අධිපති මුරුගන්, වේලන්, කන්දසාමි, ස්කන්ධ කුමරු එසේත් නැතිනම් කතරගම දෙවියන්ගේ බලපරාක්‍රමය පැතිර තිබෙන්නේ පානම,ඔකඳ, කතරගම අඩවියේයැයි විශ්වාස පවතී. වෛදික සාහිත්‍යයට අනුව ස්‌කන්ධ කුමරු ඉන්දියාවේ ආරක්ෂකයෙකු ලෙස පුද පූජාවට ලබන්නෙක් බවට පත්ව ඇත. ස්‌කන්ධ කුමාර වන්දනය ලංකාව තුළ වඩාත් ප්‍රචලිත වී ඇත්තේ ආර්යයයින් රුහුණු කතරගම ප්‍රදේශයේ ජනාවාස පිහිටුවා ගැනීමෙන් අනතුරුවයැයි පැවසේ.  කෙසේ වෙතත් ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධාන තනතුරුරෙන් පිදුම් ලැබූ ස්කන්ධ කුමාර ලංකාවේද ආරක්ෂක දෙවියෙකු ලෙස පුද පූජා ලබන්නෙකු බවට පත්ව ඇත. කතරගම පුද සිරිත් ග්‍රන්ථය ඊට කරුණු කියයි. 

මෙලෙස විකාශනය වුණු පානම ගමේ අය අවුරුද්ද සමරන්නේ වෙනස්ම අයුරකින්ය. සිංහල හා දමිළ සංස්කෘතිය තුළ අලුත් අවුරුදු උත්සවය ප්‍රධාන උත්සවයක් ලෙස  සැමරුනද ඇතැම් විට මෙම උත්සවයේදී මේ වනවිට කෝවිලකට යෑමක් පමණක් බවට සීමා වී ඇත. එහෙත් පානම වැසියන්ගේ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඊට එහා යමක් සිදුවන බව අපට දැකගත හැකිවිය.

විශේෂයෙන්ම සිංහල සමාජය තුල දකින්නට නොලැබෙන බොහොමයක් මිශ්‍ර සංස්කෘතික පදාර්ථයක් කැටිවීම නිසාම පානම් පත්තුවේ අවුරුදු සැමරීම මහා සමාජයට එතරම්ම විවරවී නැත. එදා දිගාමඩුළු කෝරළයේද පැවතියේ එවන් වූ අනන්‍ය අවුරුදු රටාවක් බව ඇතැම්විට ඔබට සිහිපත්වනු ඇත. පානම වැසියන්ගේ අවුරුදු චාරිත්‍ර සහ ඒවායේ පරමාර්ථයන් බොහොමයක් වෙනස් සහ සරල බවක් දක්නට ලැබේ. ඒ නිසාම අද බොහෝ වියදම් අධික සහ මත්පැනින් අවුරුද්ද සමරන මහා සමාජයට පානම දෙසින් එල්ල කරන්නේ සොඳුරු අතුල් පහරකි. එය ලයාන්විත බවද නොකියාම බැරිය.

මේ අවුරුදු සිරිත් විරිත් අතර මූලිකයා වන්නේ ගවයාය. ඔවුන් අවුරුද්දක් පාසා සිංහල දමිළ සිංහල අලුත් අවුරුද්ද සමරනු ලබන්නේ ගවයින් සමගය. තමන්ගේ දරුපවුල් රැකගැනීමට කිරි ටික නොමිලයේ ලබාදෙන ගවයා ඔවුන්ගේ දෙවියන්ය. ඔවුන් අවුරුද්දක් සැමරීමට තරම්  බත බුලත සාර වෙනවානම් ඒ ගවයා නිසා සිදුවන බවට විශ්වාස කරති.   දොළ පහරකට හෝ ඇල පහරකට රැගෙන යන ගවයා ඔවුන් කහ  නුග වැනි ඖෂධීය  ගල්වා ඔවුන් ගවයා හොඳින් නාවා පිරිසිඳු කරන අතර කහ රතු වැනි මල් වැල් වලින් ඔවුන් ගවයාගේ අඟ ගෙල මැනවින් සරසනු බලයි.

එයින් හින්ඳු ආගමික බලපෑම පානම ජීවිත වලට කොතරම් බලපා ඇතිද යන්න පැහැදිලිය. සතා සීපාවාට ඉතා කිට්ටු ඇසුරක් ඇති අහිංසක ජනතාවක් ජීවත්වන පෙදෙසක අවුරුදු සිරි අත්විඳීමම බෙහෙවින් හෘදසංවේදී අත්දැකීමක් බව සිහපත්කල යුතුමය. අලුත් අවුරුදු උදාවත් සමග නිවෙස් පිරිසිදු කර කහ දියරයෙන් සොදා පවිත්‍ර කරන ගම්වැසියන්, ඉන් අනතුරුව කැවුම්,කොකිස් වැනි පොදු අවුරුදු කැවිලි මෙන්ම ඔවුනටම ආවේණික ආහාර වර්ගද සකස් කිරීම සිදුකරයි. අවුරුදු දා වේලාසනින්ම නිවෙස්වල ඇතිදැඩි කරන ගවයන් ඇළ,දොළ හෝ වැව වෙත රැගෙන ගොස් නහවා, කහ ගල්වා පිරිසිදුකර පෙරහැරක් මෙන් නැවත නිවසට කැඳවාගෙන එන්නේ ඉතා ආදරයෙන්ය. එය ඔබ දැකිය යුතුම සොඳුරු දසුනකි.

ඉතාම කුළුපගව තම ජීවිකාවට මෙන්ම ජීවිතයටද කිට්ටුම මිත්‍රයාට ඉතාම ඉහළින් සැලකීම ඔවුන්ගේ පරමාර්ථය වන්නට ඇත. එය දෙවියන් උදෙසා කරන්නාවූ භක්තිමත් කටයුත්තක් බව ඔවුන්ගේ විශ්වාසයයි. අලුත් අවුරුද්දේ අලුත් හැඟිම් පුබුදුවන කොණ්ඩ කැවුම්, හැඳි කැවුම් ඔවුන් ආහාරයට ගැනීමටත් ප්‍රථම ඔවුන් ඒවා පිඟානක තබා ඖෂධ ගලාවා පිරිසිඳු කළ තම ගවයාට පිළිගන්වනු ලබයි. පානම වැසියන්ගේ අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ ඒ  ආකාරයෙන්ය.

අප රසකැවිළි රසය බුක්ති විඳ අසල්වැසියන් සමග එය බෙදා ගන්නා අතර ඒ සිංහල දෙමළ සංස්කෘතික ලක්ෂණ දැකගත හැකිය. නිවෙස්වල කුඩා දරුවන් කිසිඳු භේදයකින් තොරව නිදහසේ අනෙකුත් දරුවන් සමග කෙලිදෙලෙන් ගතකිරීම සහ සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවන්හි නිරතවීම අදටත් දක්නට ලැබේ.

මිනිසුන් දෙවියන් අදහනු ලබන්නේ ඇතැම් විට බිය නිසාය. ගස්‌, ගල්, පර්වත, ඉර, හඳ, අහස, වැස්‌ස පවා දෙවියන් කොට සලකා බොහෝ මිනිසුන් ඊට දේවත්වයෙන් සලකන ලද්දේ ද බිය නිසාමය. ලෝකය කොතරම් දියුණු වුවත් සාම්ප්‍රදායික හා ඉපැරණි මේ යාතු කර්ම අදටත් ලෝකයේ කොතැනක හෝ දැකිය හැකිය. ඒ නිසා අවුරුද්ද හා බැඳුණු පානම වැසියන්ගේ බොහෝ සිරිත් විරිත්වලට පදනම් වෙන්නේද මේ දේවභක්තිය සහ ඇදහිල්ලයි. නව අවුරුද්දක් යනු දෙවියන් විසින් තමන්ට තව දුරටත් මෙම ජීවිතය විඳීමට සහ යුතුකම් ඉෂ්ට සිද්ධ කිරීමට ලබාදෙන්නා වූ නවමු අවස්ථාවක් ලෙස ඔවුන් සිතනවා නොඅනුමානය. ඒ නිසාවෙන් ඒ දෙවියන් උදෙසා සිදුකරන පුද සත්කාර පානම වැසියන් කිසිවිටක අත්නොහරී.

එමෙන්ම සතුන් බිල්ලට දීමෙන්ද, සතුන්ගේ මස්‌ හා ලේ ගින්නට දමා පිළිස්‌සීමෙන් ද , මහා බ්‍රහ්මයා සතුටු වී තමන්ට යස ඉසුරු ලබාදෙන බව එකල ඉන්දියාවේ යම් යම් ආගම් අතර පැවති විශ්වාසය නිසාවෙන් මහා යාග පවත්වා අහිංසක සතුන් බිල්ලට දීම ඉතා උත්සවශ්‍රීයෙන් යුතුව සිදු කළහ. එහෙත් පානම වැසියන් ගහකොළ සතා සීපාවා පුදනු ලබන්නේ එවැනි බියක් නිසා හෝ බ්‍රහ්මයා සතුටු කිරීමටනම් නෙවේ. ඔවුන් සහ ගහකොළ, සතුන් අතර ඇති බැඳියාව තව තවත් වර්ධනය කිරීම එහි අපේක්ෂාව බව ගම්වැසියන් බොහෝ දෙනෙක් අප සමගින් කී දේ සාරාංශකොට ලියාදැක්වුවහොත් ඉතා වටී. ඔවුන් පවුල තුල ඇති බැඳීම ඉතා ප්‍රබලව විශ්වාස කරනාවක් මෙන්ම තමන් සහ පරිසරය අතර ඇති බැඳීමද ඒ තරමටම විශ්වාස කරන බව පැහැදිලිය.

පානම වැසියන්ගේ   සංස්කෘතික මිශ්‍රත්වය කන්ද උඩරට  ආදිවාසීන්ගේ සරල භාවය, හින්දු බලපෑම් වර්ණය  බෞද්ධ  ඇසුරකින් යුක්ත වූවකි. මස් හෝ මාළු කිසිවක් ඔවුන්ගේ අවුරුද්දේ ප්‍රීතියට හවුල් කර ගැනීමට ඔවුන් කිසිවිකටත් උත්සහා නොකරති. ඒ නිසාම ඔවුන්ගේ අවුරුද්ද සරල මෙන්ම පස් පවෙන් වැළකෙන සැබෑ බෞද්ධ අවුරුද්දක් බව කිව හැකිය, අනික් පැත්තෙන් අවුරුද්දේ සැබෑ හරය හඳුනාගත් අවුරුද්දක් බවත් පිළිගත හැක. අධ්‍යාපනයෙන් සහතික, උපාධි ඔවුන්ගේ සන්තකයේ නොමැතිවුවද එසේ උගත්යැයි සම්මත සමාජයට ඔවුන් ලබාදෙන භාවිතාමය ආදර්ශය කිසිලෙසකවත් අපහට අවුරුදු සමයේදී අමතක කළ නොහැකිය. ඒ මන්දයත් ඔවුන්ගේ අවුරුද්ද ඉතාම සුන්දර මෙන්ම මානව ගුණාංග තවමත් ඉතිරිව ඇති අවුරුද්දක් ලෙස හඳුනාගත හැකි නිසාවෙන්ය.

සටහන - හිමාෂි කරුණාරත්න

උපුටා ගැනීම - රැස පුවත්පත

Panama New Year Celebration2

Panama New Year Celebration1

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com