කිසිවිටක තමන් අමතක නොකරන්න..

හැම කෙනොම නිරෝගී සම්පත්තියෙන් ඉන්න කැමතියි. කාන්තාවන් රූපය ලස්සනට තියාගෙන ඉන්නත් කැමතියි. කාර්යබහුලත්වය නිසා සමහර අයට තමන්ගේ නිරෝගීතාවය,රූපය මගහැරෙනවා.අමතක වෙනවා. සමහර අයට මාස කීපයකට, තවත් අයට අවුරුදු ගණනාවක්ම තමන් ගැන තමන්ගේ ශරීරය ගැන අමතක වෙනවා..සමහරු තමන්ගේ ජීවිතයෙන් වැඩි කොටසක් ගෙදර පරිසරයට, දරුවන් වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් කාලය ගතකරනවා. තමන්ට ලෙඩක් වෙනකන්ම සමහරු වැඩත් එක්ක ජීවත් වෙනවා.

කාන්තාවන්ගේ සුන්දරම සමය වන තරුණ කාලයේදී වයස 17-30 අතර කාලයේදී සමහරු පාඩම් වැඩ, අධ්‍යාපනික කටයුතු වල මුළු කාලයම යොදවනවා. ස්වාමියා වෙනුවෙන් දවස ගෙවනවා. තවත් අය තමන්ගේ ශක්තිය ව්‍යාපාරයක් වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් කාර්යබහුල වෙනවා.

අම්මාවරුන් තම සම්පත වන දරුවන් ඇස මෙන් ලොකු මහත් වෙනකන්ම වෙහෙස නොබලා බලා හදා ගන්නවා. කාන්තාවන් එහෙම තමයි. සමහරු හිර වෙනවා. කොටු වෙනවා තමන්ගේ ලෝකයට. ඊට පස්සේ ලෙඩත් වෙනවා. ටිකක් විවේකය කියනව විට, ළමයි උස්මහත් උනාට පස්සේ..අවුරුදු 30 පැන්නට පසු තමන් ගැන හිතන කොට තමන් ලෙඩෙක් නම් දුක වැඩියි..තමන් මහතනම්..රූපය ගැන කවුරුහරි වැරදි විදිහට කතා කළොත් කාන්තාවන්ට දුක හිතෙනවා..දුක් වෙනවා..රූපය ගැන, මුහුණ ගැන, අත් පා ගැන, බඩ ප්‍රදේශය ගැන..ටිකක් මහත වැඩියේ නේද, බර අඩු කරගන්න සමහරු ආස හිතෙන ඇඳුම් අඳින්න බැරි උනහම දුක් වෙන්න වෙනවා..මානසිකව ඇද වැටෙනවා.

සමහරු වෛද්‍ය උපදෙසා පතනවා, සමහරු ජිම් වලට යනවා..තවත් සමහරු කෙට්ටු වෙන්න පෙති වර්ග ගන්නවා..නොකරන දෙයක් නෑ..තමන්ගේ සුන්දර කාලය වන තරුණ අවධියේදී අවුරුදු 10ක් තමන්ව අමතක කරලා..දැන් තමන්ව මතක් වෙලා..Short Cuts සොයනවා..බොහොමයක් Short Cuts වරදිනවා..අතුරු ආබාධ නිසා දවසෙන් දෙකෙන් කෙට්ටු වෙන්න ගිහින් මාස ගණන් ලෙඩ ඇඳේ..

ඒ නිසා අර වයසට ගියාම බණ දහම් මතක් වෙනවා වගේ ලෙඩ වෙනකල්ම ඉන්න එපා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන බලන්න. තරුණ කාලෙම ව්‍යායාම පටන් ගන්න, ශරීර ස්කන්ධ දර්ශකය (BMI) එක හොඳ මට්ටමක පවත්වාගෙන යන්න අවශ්‍ය උසට සරිලන බර පවත්වාගන්න මහන්සි වෙන්න, ශරීරයේ කොටස් ටයර් වගේ එල්ලිලා තමන්ටම ලැජ්ජ හිතෙන්න කලින් ටිකක් ඇඟ මහත් වෙද්දිම ව්‍යායාම කරලා, කෑම පාලනය කරලා ලස්සන තමන්ටම ආස හිතෙන සිරුරක් පවත්වාගෙන යන්න, මේක කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදු දෙයක්. ඒ නිසා මේක ඔබේ එදිනෙදා ජීවන චර්යාවේ කොටසක් කරගත්තම බොහොම ලේසියි.

 

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com