ඔබටත් ආගම ධර්මය මතක්වෙන්නේ හොඳටම වැරදුණාම ද?

ආගම හෝ ධර්මය ඇතැමෙක්ට තිත්ත මාතෘකාවක් වුණත් ආගම සහ ධර්මය තුල ගත යුතු යමක් ඇතිබව ඒ ගැන හොඳින් අධ්‍යයනය කරද්දි වටහාගන්න පුළුවන් දෙයක්. විශේෂයෙන්ම හැම ආගමික දර්ශනයකම තියෙන්නේ 'හොඳ සහ නරක' කියන දෙක. ඒ කියන්නේ ආගම් විවිධ නම්වලින් විවිධ ඇදහිලි කළත් ඒවායේ මූලික පදාර්ථයන් තියෙන්නේ දෙකයි. ආගම්වල ධර්මය නිර්මාණය වෙන්නේ ආගමික දර්ශනයන් එක්ක. උදාහරණයක් විදිහට බුද්ධාගම නිර්මාණය වෙන්නේ බෞද්ධ දර්ශනය පදනම් කරගෙන, කතෝලික ආගම බිහිවන්නේ කතෝලික දර්ශනය මුල් කරගෙන. 

ඇදහීම් කරන හෝ විමුක්තිය සොයායන ජනතාව ඉන්න තැනකට ගිහින් බැලුවොත් වැඩිම පිරිසක් ඉන්නේ මහළු වයසේ උදවිය. විශේෂයෙන් ආසියානු ආගමික දර්ශනයන් අදහන බොහෝ දෙනෙක් හිතන විදිහ තමයි විමුක්තිය හරි ජීවිතේ සැනසිල්ල හරි හොයාගෙන යන්න ඕන ජීවිතේ අන්තිම කාලේ කියන එක. ඒ නිසා හැට පැනලා හොට බිම ඇණෙන්න ඔන්න මෙන්න තියෙද්දි රටේ තියන තරමක් පල්ලි, පන්සල්, දේවාල ගානේ බැරි බැරි ගාතේ ගිහින් අතේ තියන අන්තිම පිච්චිය දක්වා ඒවායේ කොන්ක්‍රීට් ගොඩවල් හදන්න පූජා කරලා අන්තිමට බෙහෙතක්වත් ගන්න සල්ලි නැතිව දුක්විඳන එක ආසියානු සමාජයේ මිනිස්සු 'පින' එහෙමත් නැත්නම් 'කුසල්' විදිහට විශ්වාස කරනවා. නමුත් ඇත්තටම ආගමික දර්ශන ඇතුලට එබිලා බැලුවොත් ඒවායේ මාර්ගය ඒක නෙවෙයි කියන එක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.

තවත් පිරිසකට ආගම, ධර්මය මතක් වෙන්නේ හොඳටම වැරදුණා. සරලවම කියනවනම් ලෙල්ලටම වැටුණම තමයි ආගම,දහම,පින්,පව් මතක් වෙන්නේ. එහෙම වෙලාවට කව්රුහරි කියන ඕනම දෙයක් කරලා වැරදුණු තැනින් ගොඩඑන්න උත්සහ කරනවා. මේකේ වරදක් කියන්න බෑ, මොකද ගිලෙන්න යන මිනිහා පිදුරුගහෙත් එල්ලෙනවා. ඒත් ඇත්තටම ජීවිතේ මුල ඉඳන් පුරුද්දක් විදිහට තමන්ගේ උප්පැන්නයේ තියන ආගමට අදාල ආගමික දර්ශනය විතරක් නෙවෙයි, අනිත් ආගමික දර්ශනයන් ගැනත් හොඳ අවබෝධයෙන් කටයුතු කරනවනම්, ඒවා ජීවිතේට එකතුකරගෙන ඉන්නවනම් ජීවිතේ වරදින්න තියන ඉඩකඩ බොහොම අඩුයි, වැරදුණත් නැගිටින්න ගස්,ගල්,පිළිම වන්දනාවේ යෙදෙන්න ඕන වෙන්නෙත් නෑ.

ආගමික දර්ශනයන් ගැන තියන පොත පත ඕනතරම් තියනවා. ඒවා අරගෙන පරිස්සමින් කියවගෙන යද්දි ඔබේ ජීවිතයට කොයිතරම් වටින දේවල්, උපදේශ, ආදර්ශ ඒවායේ තියනවද කියලා දකින්න පුළුවන්. ආගම රැකගන්න කඩුපොළු අතට ගන්න එකට වඩා, ආගම හරි ලොකුයි කියලා වාහනේ Proud to be ස්ටිකර්ස් ගහගෙන ඉන්නවට වඩා, ආගමික විවේචනයන් වලට කුණුහර්ප කියාගෙන යනවට වඩා නැවතිල්ලේ සැනසිල්ලේ ආගමික දර්ශනයන් හදාරන්න, ඒක තමයි ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම සැනසීම.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com