හරියටම පොල් සම්බෝලයක් හදාගන්න දන්නවද?

සාමාන්‍යයෙන් ඕනම කෙල්ලෙක්ගෙන් හරි කොල්ලෙක්ගෙන් හරි උයන්න පුළුවන්ද කියලා ඇහුවම ගොඩක් දෙනෙක් පැනලා 'අපෝ පුළුවන්' කියලා කියනවා. ඊට පස්සේ ප්‍රශ්නය තමයි මොනවද උයන්න පුළුවන් කියලා. එතකොට දෙන උත්තරේ තමයි 'බත්' කියන එක. 'හරි ඉතින් බත් උයන්න එච්චර අමාරුවක් නෑනේ..වතුර දාන එක විතරනේ අවුල..වෙන මොනවද බත් එක්ක කන්න උයන්න පුළුවන්?" මෙන්න මේ ප්‍රශ්නෙට තමයි ගොඩක් දෙනෙක් හිරවෙන්නේ.

සමහරු කියයි 'පරිප්පු' කියලා, තවත් සමහරු කියන්නේ 'පොල්සම්බෝල' කියලා. ඒත් ඔයාලා ඇත්තටම පොල්සම්බෝලයක් හරියට හදාගන්න දන්නවද? මේකනම් ටිකක් ගැටළුකාරී ප්‍රශ්නයක්. මොකද එක් එක් පළාත්වල, එක් එක් රටවල්වල (පොල්සම්බෝලේ ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේ,වියට්නාමේ,තායිලන්තය,කාම්බෝජය වගේ රටවල් වලත් හදනවා) පොල් සම්බෝලය හදන විදිහ වෙනස් නිසා.

ලංකාවේ උදවිය නම් වැඩිපුර කැමති ටිකක් සැරට හදන පොල් සම්බෝලයකට. අද මේ කියලා දෙන්න යන්නේ සාමාන්‍යයෙන් දකුණු පළාත් ඇතුළු වෙරළබඩ කලාපයේ ක්‍රමයට කටට රසට පොල් සම්බෝලයක් හදාගන්නේ කොහොමද කියන එක.

අවශ්‍ය දේවල්

  • හොඳින් ගාගත් පොල් (වඩාත් ගැලපෙන්නේ හොඳින් වියලුණු පොල් තමයි)
  • කපාගත් ලොකු ලූණු (අවශ්‍ය ප්‍රමාණයට)
  • අමුමිරිස් (කරල් 2-3)
  • සුදූ ළුෑණු ස්වල්පයක්
  • මිරිස් කෑලි (මේස හැඳි දෙකක්)
  • ගම්මරිස් ඇට ස්වල්පයක්
  • ලුණු (මේස හැඳි භාගයක්)
  • දෙහි (ගෙඩි භාගයක්)
  • උම්බලකඩ ස්වල්පයක්

කෘත්‍රීම රසකාරක භාවිතා නොකර වස විස නැතිව හදන පොල් සම්බෝලය ශරීර සෞඛ්‍යයටත් ඉතා හොඳයි. ඒ නිසා අපි දැන් වැඩේ පටන්ගමු. මුලින්ම මේකට බ්ලෙන්ඩරයකට වඩා හොඳ වංගෙඩියක් තමයි.(ගලේ අඹරාගත්තත් ගැටළුවක් නෑ) ගල් වංගෙඩියක් හෝ ලී වංගෙඩියක් අරගෙන එය තුළට ගම්මිරිස් ඇට සහ සහ උම්බලකඩ දමා හොඳින් කොටාගන්න. ඒ අතරේ ලුණු ස්වල්පයක් දාගන්න. සම්පූර්ණයෙන් උම්බලකඩ කෑලිවෙන්න සහ ගම්මිරිස් හොඳට කුඩුවෙන්න කොටාගත්තට පස්සේ ඒකට සුදු ළූණු සහ අමුමිරිස් දාලා නැවත කොටාගන්න.

විනාඩියක් දෙකක් හොඳින් කොටාගත්තට පස්සේ පේස්ට් එකක් වගේ ඉතිරි වෙනවා. මේකට දැන් කපාගත් ලොකු ලූණු සහ මිරිස් කෑලි දාලා හොඳින් කොටාගන්න. කොටන අතරේ අත් මෝල්ගහෙන් ලූණු කැබලා තලාගන්න (එතකොට හොඳට මිශ්‍රවෙනවා). ඒ කොටන අතරේ ඉතිරි ලුණු ටික දාගන්න.

අවශ්‍ය තරමට කොටාගත්තට පස්සේ කොටසින් කොටස ගාගත් පොල් වංගෙඩියට දමාගෙන හදාගත්ත පේස්ට් එකත් එක්ක කොටාගන්න. හොඳින් පොල්වල පේස්ට් එක මිශ්‍රවෙන විදිහට කොටාගත්තම තැඹිලි පැහැයට හුරු පොල් සම්බෝලය දකින්න පුළුවන්. රස පරික්ෂා කරලා බැලුවම මිරිස් හෝ ලුණු මදි වගේ දැනෙනවනම් ස්වල්පයක් වශයෙන් එකතු කරලා නැවත කොටාගන්න. එහෙම කොටාගත්ත පොල්සම්බෝලය වංගෙඩියෙන් ඉවත් කරලා පිරිසිදු භාජනයකට දාලා අවශ්‍ය තරමට දෙහි යුෂ එකතු කරන්න.

දැන්නම් කටට කෙළ උනන පොල් සම්බෝලයක් ඔබට රසවිඳින්න පුළුවන්. උණුම උණු බත් එක්ක පොල් සම්බෝලයක් රස විඳින එක හොඳ සම්මිශ්‍රණයක් වේවි.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com

Latest News