ඇඳිරි නීතිය අස්සේ අඹු-සැමියන් රණ්ඩු ද? එහෙනම් මේක කියවන්න.

දැන් දවස් කීපයකට කලින් newsoflanka.com පුවත් වෙබ් අඩවියේ ඉතා ඛේදජනක පුවතක් සඳහන් වුණා "ඇඳිරි නීතිය අස්සේ කාන්තාවන් ගණනාවක් ගුටිකා රෝහලේ" කියලා. ඒ කියන්නේ මේ කොරෝනා වසංගත තත්වයක් නිසා ගෙදරින් එළියට බැහැගන්න බැරිව ඉන්න අතරේ, ඒ වගේම කාලෙකින් නොලැබුණු ලොකු නිවාඩුවකුත් ලැබිලා ගෙදරට වෙලා නිදහසේ ඉන්න අතරේ ගෙදර සැමියා බිරිඳ අතරේ ගැටුම් ඇතිවෙලා, සැමියාගෙන් ගුටිකාලා බිරිඳ රෝහල් ගතවෙනවා කියන එකනේ. ඒක මොනතරම් නම් අවාසනාවන්ත තත්වයක්ද.

ඒත් මේක තමයි ඇත්ත. අපි ඇත්තටම කතා කරලා බලමු ඇයි මෙහෙම වෙන්නේ කියලා. මොකක්ද මේකට හේතුව කියන එක. මොකද මම දැක්කා මේ පුවත පළවෙලා තිබුණු තැන්වල බොහෝ අයගේ මත දැක්වීම්. සමහරු කියලා තිබුණා 'ගෑණුන්ගේ කටවැඩියි නේ" තවත් සමහරු කියලා තිබුණා 'පිරිමි හැමදාම කලේ ඕක තමයි..කාළකණ්ණි' කියලා. එහෙම තනි වාක්‍යයකින් උත්තර දෙන්න හෝ අදහස් දක්වන්න පුළුවන් ගැටළුවක් කියලා මේක හිතන්න අමාරුයි.

කසාදේ තීරණය

ලංකාවේ විවාහ සිද්ධවෙන ක්‍රම දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ එක්කෝ යෝජිත විවාහ සහ යෝජිත නොවන විවාහ. යෝජිත නොවන විවාහ කියන එක ඇතුලේ තවත් කොටස් ගණනාවක් තියනවා. ආදර සම්බන්ධ, බලහත්කාරයෙන් විවාහ කරගැනීම, අසරණකම මත පදනම්වෙලා සිදුකරගන්න විවාහ ඒවායෙන් කිහිපයක්. එතකොට අර අපි පොදුවේ අහන ප්‍රශ්නය තියෙන්නේ Love marriage ද? Proposal ද? කියලා. ඒ අස්සේ අපි සමාජයේ ඇත්ත කතාව කොච්චර හංගනවද? 

මේ බලහත්කාරයෙන් විවාහ කරගන්න, අසරණකම මත සිද්ධවෙන විවාහ විතරක් නෙවෙයි අඩු වයසින් අනවබෝධයෙන් ඇතිකරගන්න ආදර සම්බන්ධතා නිසා වගේම කාගෙහරි කීමකට සිදුකරන යෝජිත විවාහවල තියෙන නොගැලපීම් සහ අවබෝධයේ ගැටළු නිසා එදිනෙදා කොයිතරම් ගැටළු තියනවද. ඒ ගැටළු වහගෙන බොරුවට සමාජයට, නෑදෑ හිතවතුන්ට පේන්න හිනාවෙලා ඉන්න අඹු-සැමියන් කොච්චරනම් අපේ සමාජයේ ඉන්නවද. මෙන්න මේ කියපු කාරණා කීපය විවාහය ඇතුලේ හදන අර්බුද වලට මූලිකම හේත්වක්. ඒකට ඇඳිරි නීතිය ගෙදර රැඳීමට නොරැඳීමට බලපාන්නේ නෑ.

හැසිරීම් අවුලක්ද?

ඇඳිරි නීතිය නිසා ගෙදරට හිරවෙලා ඉන්න සැමියෙක්ගේ පැත්තෙන් බලමුකෝ. බොහෝවිට ඒකාකාරී විදිහට ඉඳීම නිසා එපාවෙලා ඉන්න පුළුවන්, වෙනදට වගේ යාළු මිත්‍ර ආශ්‍රයක් සහ මත්පැන් භාවිතා කරන කෙනෙක් නම් ඒවා හිඟපාඩු නිසා ඒවායේ ඇබ්බැහි පීඩනය විඳින කෙනෙක් වෙන්න පුළුවන්. ගෙදර රැඳෙන කාලය වැඩිනිසා බිරිඳට උදව් කරන්න වෙලා (සාමාන්‍යයෙන් එහෙම නොකරන කෙනෙක්ට) ඒවා ඉවසන් ඉන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. මෙහෙම කෙනෙක් ඉන්න මානසික තත්වය හිතාගන්න පුළුවන්ද?

බිරිඳක් නම්, රැකියාව කරන කෙනෙක්නම් ගෙදරට වෙලා ඒකාකාරීව ඉන්න පීඩනය විඳිනවා වෙන්න පුළුවන්. වෙනදා වගේ යාළු මිත්‍රයෝ එක්ක ඇති පදම් කතා කරන එක අහිමිවෙලා ගෙදරට බිත්ති හතර ඇතුලේ හුවමාරු වෙන වචන කිහිපයකට පමණක් සීමාවෙලා ඉන්නවනම්, සමහරවිට සැමියා අඩුවෙන් කතාකරන කෙනෙක්නම් තත්වය තවත් බරපතලයි. පොඩි දරුවන් පවා මේ ටිකේ ගෙදර නිසා ඔවුන්ගේ රාජකාරී, රණ්ඩු බේරන එකේ වගකීමත් වැඩිපුර පැවරෙන්නේ බිරිඳට. මේවා කොච්චර පීඩනයක්ද.

ලිංගික ප්‍රශ්න

එහෙම තැනකදි බිරිඳ සැමියා එක්ක වචන කිහිපයක් කතාකරලා තමන්ගේ පීඩනය අඩුකරගන්න උත්සහ කරන එක සැමියාට කච කචයක් වගේ දැනෙන්න පුළුවන්. එහෙම තැනකදි ඒකට විරෝධය පෑම එක්ක ඇතිවෙන්නේ රණ්ඩුවක්. මේක තවදුරට ගියොත් අතපය දිගහැරෙන තුවාල වෙන තැනකට පත්වෙන්නත් පුළුවන්.

අනෙක් අතට සැමියාට මේ දවස්වලට නිදහස වැඩියි කියන්නෙම අනිත් පැත්තෙන් බිරිඳට තවත් වැඩ වැඩිවෙනවා. ඒ මදිවට බොහෝ වෙලාවට ලිංගික එක්වීම්වල අවශ්‍යතාවයත් සැමියාට වැඩිපුර දැනෙන්න පුළුවන්. එහෙම තැනකදි බිරිඳට ඒ අවශ්‍යතා වලට එකඟවෙලා දෙන්නාගේ කැමැත්තෙන් ලිංගික එක්වීම් වලට යොමුවෙන්න බැරිවුණා එතන ඇතිවෙන්නෙත් ගැටුමක්. ඒත් පිට සමාජයට පේන්නේ ගෘහස් ප්‍රචණ්ඩත්වය හරි වෙනත් මොකක්හරි අවුලක් විතරයි.

නුපුරුදු ජීවිතයක්

සමහරි පවුල්වල සැමියාට පුරුදු බිරිඳගෙන් ඈත්වෙලා බොහෝ කාලයක් ගතකරන්න. මුල් කාලයේ මේක ටිකක් අමාරුයි කියලා හිතුනට පස්සේ මේක පුරුද්දක් වෙනවා. වගකීම් එහෙමත් දැනෙනවා අඩු නිසා සැමියා මේ නිදහසට කැමති වෙන්න පටන්ගන්නවා. කාර්යාලයේ,මගතොට වෙනත් සොඳුරු කාන්තාවන් ආශ්‍රය කරන එකත් ඒ නිදහසේම කොටසක් වෙනවා. එතකොට මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න නිසා බිරිඳ එක්ක වැඩිපුර කාලයක් රැඳෙන එක සහතිකෙන්ම නුපුරුදුයි. මේ නුපුරුදුකම නිසාම ඇතිවෙන නොරිස්සුම්සහගත අමනාපකම් ඇතිවෙන්න පුළුවන්.

බිරිඳ රැකියාවක් නොකරන කෙනෙක් නම් බොහෝවිට කොච්චර පාළු වුණත් සැමියා වැඩිපුර ගෙදරි පිට රැඳීමට හුරුවෙලා ඉන්න පුළුවන්. එහෙම තත්වයකදි ඇඳිරි නීතිය නිසා සැමියා වැඩිපුර ගෙදර ඉන්න නිසා මේ දවස්වල සැමියාගේ නීතිරීති, ඇද කුද කීම්, බැන අඬගැසීම්වලින් බිරිඳ ඉන්නෙත් රතු කට්ට පැනලා වෙන්න පුළුවන්. මේකත් අවසානයේදී රණ්ඩුවකින් ඉවරවෙන දෙයක් වෙයි.

නිදහසේ සතුටින් ඉමු

කොරෝනා වසංගතය ලෝකය පුරාම දරුණු විදිහට පැතිරෙනවා. හෙට දවසේ අපි ජීවත් වෙයිද නැද්ද කියලා නොදන්න තරමටම තත්වය බරපතලයි. ඒ නිසා මේ ලැබිලා තියන නිදහස් කාලයේ වෙන වෙන ප්‍රශ්න පැත්තක දාලා හොඳින් ඉන්න.

ලේසිම දේ තමයි තමන් තමන්ට පොරොන්දුවක් වෙන එක කිසිම හේතුවක් මත සැමියා එක්ක, බිරිඳ එක්ක ගැටුමක් හදාගන්නේ නෑ කියලා. ඒ වගේම වෙනදටත් වඩා ආදරෙන් මේ අපහසු කාලය ගතකරනවා කියන ගිවිසුම තමන්ටම දෙන එක.

ඔබට ඔබ විශ්වාසනම් ජීවිතයේ ඕනෑම අමාරු කාලයක් සුන්දරම කාලයක් බවට පත්කරගන්න ඔබට පුළුවන්.

couple fight 

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com

Latest News