නිහඬ නුඹ නොදන්නා ආදරය...

ජීවිතේ අපි ආදරේ කරන බොහෝ දේ තාවකාලිකයි. සංස්කාර ධර්මයන්ගේ අනියතභාවය අනිත් හැමදේටම වඩා ඉක්මණට අපි ආදරේ කරන දේ අතරට ආරෝපණය වීම අහේතුකව පිළිගන්න වෙන සත්‍යයක් බවට පත්වෙලා.

සමහර විට ජීවිතේ අපි වඩාත්ම ආදරේ කරන දේවල් අපේ ඇස් ඉදිරිපිට සිතුවමක් බොඳවෙලා යන්න වගේ නැතිවෙලා යන්න ගතවෙන්නේ බොහොම සුළු කාලයයි. ආදරේ කියන අකුරු අතරේ ඒ වේදනාත්මක මතක බොහොමයක් ලියවෙන්නේ ඒ හින්ඳම වෙන්න ඇති.

සංසාරය කියන සංකල්පේ එක්ක අපි ජීවිතේ ගැන ගැඹුරට හිතද්දි සංසාරය පුරාවටම අපි විසින් එකතු කරගෙන එන දේවල් අතර ප්‍රිය වර්ගයාද රැගෙන ඒම නිරායාසයෙන්ම සිදුවෙනවා. ඒත් ඒ ප්‍රිය වර්ගයා මේ ජීවිත කාලය තුල කරන බොහෝ දේවල් වලින් හිතටම දැනෙන වේදනාව මෙතෙක් කියලා කියන්න මිම්මක් නෑ. සමහර විට අපි ආදරේ කරද්දි හරි ආත්මාර්ථකාමීව ආදරේ කරනවා. ඒ ආදරේ අපිටම විතරයි, එයින් අංශුමාත්‍රයක්වත් බෙදාහදාගන්න අපි කැමති නෑ. පොදු සමාජයේ විචාරක ඇසට මෙය විවේචනයට ප්‍රස්තුතයක් වුනාට පෘතග්ජන හිතට මෙය සාමාන්‍ය කාරණයක් බව තේරුම්ගත යුතුයි.

ඔබේ රුව රසඳුනක් වූවට

කමක් නෑ මට තවත් ඇසකට

නමුදු ඒ රුව තවත් කෙනෙකුට

අයිති වෙනු බෑ දරාගන්නට

 තමන් ආදරේ කරන දෙයක වටිනාකම අනිත් අය ඇගයීම, දැකීම හිතට ප්‍රිය වුනත් ඒ ආදරේ සහ පුද්ගලයා වෙනත් අයෙක්ගේ වීම තරම් වේදනාවක් තවත් ඇත්ද කියලා හිතන්නට වෙනවා.

ඇතැම් විට ආදරේ විවිධ අසමානතා සහ නොහැකියාවන් මත ඈත්ව යන ජීවිත අතරේ අපි දැඩිසේ ආදරය කරපු සහ තවමත් කරන ඇතම් අය කෙටි කාලයක් ඇවෑමෙන් බොහොම සතුටින් සහ ආදරයෙන් තවත් අය එක්ක ගත කරනවිට දැනෙන හැඟීමට නමක් දෙන්න අපහසුයි. ඇතැම්විට අපි ආදරේ කරන පුද්ගලයාගේ සතුට ප්‍රාර්ථනා කරලා හිත හදාගන්න උත්සහ කලත් බොහෝවිට හිත කියන එකම කාරණය “පිටුපෑ ආදරයට  වඩා පසුව ලංවුණු ආදරයෙන් නුඹ සුඛිත මුදිත වන්නට හේතු වූයේ කුමක්ද?“ යන්නයි. අපි ආදරයේදී අසරණ වන්නේ මෙවැනි කාරණා නිසාවෙන් බව සාහිත්‍යයෙන් වුව හඳුනාගත හැක.

පොදුවේ ආදරය ලබන්නට අපි කවුරුත් කැමති නෑ. එය සාමාන්‍ය සංසිද්ධියක්. එක පොකුරක මලක් වෙලා ලබන සැපතක් නොමැති බව සමානාත්මතාවයේ පාඩමට මදක් දුර වුනත් ආදරයේ සාමාන්‍ය ධර්මයට එය පොදු දෙයක්. ඔබ දැඩියේ ආදරය කරන කෙනෙක් ඔබට නොදුන් දෙයක් ඔබ හොඳින් දන්නා අයෙක්ට දුන් බව දැනගත්විට දැනෙන්නේ කිනම් දුකක්ද..මනමේ නාටකය පවා කියා සිටින්නේ එහි එක්තරා පැත්තකි. චිත්ත සන්තාපයට හේතුවන තවත් එවැන්නක් තිබිය හැකිද.

කඩුව වෙනතක කොපුව මා අත

නොමැත වරදක් සොඳුර නුඹ අත

වටහාගනු බැරි ගැහැණු හිත

තබා ඇත පැන දහක් මහිත මත

(ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර “අවසානයට පෙර“ 2010)

එහිදී නැගුන චිත්ත සන්තාපය පෙන්වන මානසික තත්වය මතින් ආදරය කරන්නාගේ හෝ කරන්නියගේ පොදු ස්වභාවය මත තබා එයින් සාධාරණීකරණයට අප උත්සහ කලත් ඇතැම්විට එයට ම ගැලපෙන සාධාරණීකරණ තර්කයක් අප හිත විසින්ම ගොඩනගන අවස්ථා ඇත

මාලිගාවක ඉන්න කුමරෙක්ට වඩා

කැලේ ඉන්න වැද්දෙක්ට

කඩුවක් වටිනව කියලා

හිතන්න ඇති

මනමේ කුමාරි

(ජනිත චතුරංග ප්‍රේමරත්න 2012)

මේ සියලු කාරණා වලින් අපිට විප්පයෝගයේ සන්තාපය කෙලෙසද කියලා මනින්න බැරිවුනත් අර්ථ ගන්වන්න පුළුවන් වේවි. අහේතුකව ආදරයේ නොලැබීම ලද්දේනම් ඒ ආදරය තවත් කෙනෙක්ගේ සීමාවට ගියත් ලබන පීඩාවේ අඩුවක් නොව වැඩිවීමක් පමණක්ම විඳිය හැකි.

අපි බොහෝ දේ මෙන්ම කර්මයට සහ ධර්මයට ඒ දුක බාරදී නිහඬ වනු ඇත. බොහෝවිට ඔබට රිදවූයෙක් නම් ඔබ සමාව දෙනු ඇත. නමුත් ඔබට රිදවූයෙක්නම් දෛවය විසින් සමාවක් නොදෙනු ඇත. එහෙත් අපි සංවේදී බැවින් අප යම්තාක් දුරට හිත අස්වාසාගනු වස් ආදරයේ නැවත හමුවක නිහඬබවට හේතු පෙන්වනු ඇත.

නන්නාඳුනන ලෙසේ මගතොට යලිඳු හමුවෙලා

මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස්වෙලා

එසේ මහමෙරක් සේ හිසින් දරාගෙන යන ආදරයේ විප්පයෝගය හෝ නොලද ආදරයක මතක සටහන් අපි අනාගතයට රැගෙන යනු ඇත. හදවතින් සුබ පතනු ඇත. නමුත් අප සැවොම ස්වභාවධර්මයේ පොදු නීතියට යටත්වනු ඇත.

එදා ලඟ සිට දුටුව ඔබ නොව

මෙදා දුර සිට මා දකින්නේ

සදාකාලික නොවූ ලෝකයේ

සදා කෙලෙසද පෙම් කරන්නේ

ඒ ධර්මතාව තුල අපි සොයන්නේ අපිමද නැත්නම් අපටත් වඩා අපි ආදරය කල ආදරයමද යන්න තේරුම්ගත යුතුය. ඔබ ජීවිතයේ දෙවතාවක් එකම අයෙක්ට ආදරය කරතොත් එකම ලෙස ආදරය කලහැකිද යන්න ගැටළුවකි. නමුත් ආදරය වනාහි පොදු සංකල්පයකි. සයුරේ කොතනින් ජලය ගත්තද ලුණු ලුණු පරිද්දෙන්ම ආදරයත් එසේ විය යුතුය. නමුත් වර්තමානය විසින් අපට බොහෝ දේ උරුම කර දී ඇත. නැතිවූ දේට අප ආදරය කරන්නේ බොහෝවිට අප කොතෙක් මුදල් ඉපයූවත්, බලය අත්පත් කරගත්තත් නැතිවූ ඒ ආදරය හෝ සෙනෙහස නැවත ලඟකරගත නොහැකිබව දන්නා බැවින්මය.

සඳ තම එතනමයි

එදා ලෙස වටකුරුව

හිරු තවම එතනමයි

එදා ලෙස පියකරුව

තණ පලස එලෙසින්ම

දළු දමා වැඩී ඇත

සුදු පරවි රැන් විත්

පෙර ලෙසම සක්මනය

සුදු මල් පාවී විත්

ගං දියට ඇද වැටෙන

සොඳුරු දසුනක් පෙනෙයි

එලෙසින්ම එක ලෙසම

සුළං රළ ඇදී යන

ගංතෙරේ සිසිල මැද

ගංදියට තනි රකින

තුරු පෙලද තවම ඇත

වෙනසක් කියා නැත

දැනෙන්නේ උනුන් හට

වෙනසකට යමක් වෙත්

ගං තෙරේ මං තනිව

ඔබ නොමැති පාළුවෙන්

(ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර “නොලිවූ කවිය“ 2008)

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com

Latest News