විශ්වාසය එක්ක සෙල්ලම් කරන්න එපා..

ඕනෑම දර්ශනයක හෝ ඕනෑම ආගමක මානව විශ්වාසය තබා තිබෙන්නේ බොහොම ඉහළ තැනක. බෞද්ධ දර්ශනය තුළද “විශ්වාසා පරමාඥාතී“ යනුවෙන් විශ්වාසය හඳුන්වා ඇත්තේ “ඉතාම ඉහළ හෝ ලඟ ඥාතියෙක්“ ලෙසින්ය. එවැනි තැනක තබා ඇති මානව විශ්වාසය කඩාදැමීම තරම් වරදක් මිනිසෙකුට ජීවිත කාලය තුල කල නොහැකියි.

බටහරි හෝ පෙරදිග කියලා වෙනසක් නැතිව අපි අත්දකින සමාජ ක්‍රමයන් ඇතුලේ විශ්වාසය මත පදනම් වෙලා උපන් දවසේ පටන් මියයන දිනය දක්වාම අපි බොහොමයක් මානව සබඳතා කෙරෙහි විශ්වාස තබනවා.

අලුත උපන් දරුවා තම මවගේ තනපුඩුව තමන්ගේ මුවේ වැදුණුවිට කෙටි කලකින් එය උරා බොමින් බඩගින්න නිවාගනිද්දි දරුවා තමන්ගේ මව සම්බන්ධයෙන් විශ්වාස කිරීම ආරම්භකරනවා. තමන්ගේ මුවට වැටෙන කිරි බිඳුව තුල තමන්ගේ මව කිසිවිටක විස දමා නොදේවි යන විශ්වාසයෙන් දරුවා කිරි උරා බොනවා.

වැඩිවියට පත්වෙද්දි දරුවා තමන්ගේ පියා ඇතුලු සහෝදර සහෝදරියන් විශ්වාස කරනවා. ඒ තමන්ට ඔවුන් සමග ඇති ලේ බැඳියාව නිසා “තමන්ගේ“ යන හැඟීමෙන් ඔවුන් තමන්ව ආරක්ෂා කරයි යන හැඟීමෙන්. ඊටත් පස්සේ එහෙම වැඩෙන දරුවා තමන්ට අකුරු කියාදෙන ගුරුවරයා ගැන විශ්වාසය තබනවා. ඒ සාවද්‍ය නොවන පුරෝගාමී දැනුමක් තමන්ගේ මොළයට කාන්දුකරාවි යන අපේක්ෂාවෙන්.

ජීවිතේ ආදර බැඳීමක් පටන් ගන්න පුද්ගලයා තමන්ගෙ පෙම්වතිය හෝ පෙම්වතාව දැඩිසේ විශ්වාස කරන්න පටන්ගන්නවා. ඒ ආදරණීය බැඳීම එක්ක තමන්ට වරදක් නොකරාවි වගේම ජීවිතේ පුරාවට ආදරය කරාවි කියලා විශ්වාස කරනවා.

ඒ වගේම මිනිසෙක් වෘත්තීයක් ඇතුලේ එහෙමත් නැත්නම් ව්‍යාපාරයක් ඇතුලේ තමන්ගේ යටත් සේවකයන්, ආශ්‍රිත සේවකයන් වගේම තමන්ගේ ප්‍රධානීන් විතරක් නෙවෙයි ගණුදෙනුකරුවාත් විශ්වාස කරනවා. ඒ විශ්වාසයේ තරම මත ව්‍යාපාරයේ හෝ වෘත්තියේ ගමන තීරණය වෙනවා.

මිනිසෙක් ජීවිතේ සැඳෑ සමයේදී රෝග පීඩාවලින් දුක් විඳිද්දි තමන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්, හෙදියන් ගැන විශ්වාසය තබනවා. ඔවුන් තමන්ට වැරදි බෙහෙත් නොදේවි සහ තමන් ගැන අවධානයෙන් සිටීවි කියන විශ්වාසය තබා සිටිනවා.

හිතන්න..මේ එක් විශ්වාසයක් හරි කොතැනකදී හරි ඔබේ නොසැලකිල්ලෙන් බිඳ වැටුණොත්.. ඇතැම්විට සමස්ත ජීවිතේම බිඳවැටිලා,කුඩුවෙලා යන්න පුළුවන්..

ඒ නිසා විශ්වාසය එක්ක සෙල්ලම් කරන්නේ පරිස්සමින්..

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com

Latest News