නෙතට උළෙලක් විය එදා ඔබ - කඳුළු බිඳුවක් වුව මෙදා..

ඉර බැහැගෙන යන හැම වෙලාවකම මාතර වෙරළ උද්‍යානයේ ෆයිනස් ගස් යායට යටින් තියන දිග බංකුව උඩ වාඩිවෙලා මුහුද දිහා බලාගෙන පැය ගණනක් ගතකරපු දවස් අනන්තයි. ඉස්කෝලේ යන කාලේ කව්දෝ කිව්වා මතකයි මුහුද දිහා බලාගෙන ඉන්නකොට හිත නිවෙනවා කියලා. ඒ නිසාම වෙන්න ඇති ඒක පුරුද්දක් වුණේ.

එයා අන්තිමට මුණගැහෙන්න ආවෙත් මාතර බීච් එකට. එදා ඇඳගෙන හිටියෙත් මම ගොඩක්ම ආස කරපු නිල්පාට ඩෙනිම් ෂර්ට් එක. වෙනද තියන හිනාව ඒ මූණෙ තිබුණෙ නෑ. ඒ බැල්මෙන්ම මට දැනුනා එදා හවස අහසේ වෙනදා දැකපු තරු දකින්න මට ඉඩක් ලැබෙන එකක් නෑ කියලා, රෑට හීනීයට ඇහෙන සත්තුන්ගේ ගීත හඬ ආයෙත් ඇහෙන එකක් නෑ කියලා. ඒ හැමදේම ඒ විදිහට වුණා.

“උදාරි මට යන්න වෙනවා.. “

කකුල් දෙක බදාගෙන අඬන්න වුවමනා වුනත් හිත ටිකක් නෙවෙයි ගොඩක්ම දැඩි වෙලා තිබුණේ. කාලයක් තිස්සෙ වෙන හිතක් එක්ක බැඳිලා ඒ හිතේ වුවමනාවන් සන්තර්පනය කරන්න මගේ හිත රිද්දවපු, මගේ හිතට බොරු කරපු අතීතේ මතකයට ආපු නිසා ඒ අඬාවැටෙන හිත මම විසින්ම පාලනය කරගෙන තිබුණා.

“හොඳයි යන්න..සුබ ගමන්..”

ඒ වචන ටික කියවුනේ කොහොමද කියලා මමවත් දැනගෙන හිටියේ නෑ. ඒත් එහෙම කියද්දිත් බොහොම ආයාසයෙන් ඇඳුණු හීන් හිනා රැල්ලක් මගේ මූණේ තිබුණා කියලා විතරක් මට මතකයි. ඒ හිනාව දැක්ක එයාගේ ඇස්වල තිබුණ හැඟීම වෙනස් වුණා. සමහර විට හිතාගෙන ඉන්න ඇත්තෙ මම බිම වැටිලා අඬයි කියලා වෙන්න ඇති, එයාව ඉල්ලලා කෑගහයි කියලා වෙන්න ඇති.

ඒත් ඒ වෙනකොටත් මම එයාගේ හීනවලට ඉඩදීලා තිබුණා. එයා අලුත් බැඳීමක් හදාගෙන තිබුණ ඒ හිත එක්ක එයාට අවශ්‍ය ගමන යන්න ඉඩ හදලා දීලා තිබුණා. ඇත්තටම ඒක අලුත් හිතක්වත්, අලුත් බැඳීමක්වත් නෙවෙයි, අපි දෙන්නා මුණගැහෙන්න කලින් එයාටම දුක්දීලා කඩලා බිඳලා දාලා ගියපු හිතම තමයි කියලා මම දැනගත්තේ ගොඩක් පහුවෙලා. ඒ වෙනකොටත් අපි අතර ප්‍රශ්න ගොඩක් දුරට උඩුදුවලා, හිතට සිද්දවුණු තුවාල මැහුම් දාලා ගොඩදාන්න පුළුවන් මට්ටමක තිබුණේ නෑ. බරපතල සැත්කමක් අවශ්‍යවුණා. ඒක ජීවිත අවදානමක් ගන්න වැඩක්.

ඒත් ඒ වෙනුවට කලේ කිසිම ප්‍රතිකාරයක් නොකර ඒ හිතට මැරෙන්න ඉඩදීපු එක. එයා එයාගේ පරණ බැඳීම අලුත් කරගන්න ගියා. මම මතකයන් එක්ක එක තැනක නතර වුණා.

“මිනිස්සු තමන්ට ලැබුණ දේට වඩා නොලැබුණ දේ ගැන දුක්වෙනවා බං... මනුස්සයෙක්ට හැමතිස්සෙම අතේ තියන දේට වඩා ගහේ තියන දේ වටිනවා.. ඒ නිසා බලන්නෙම අතේ තියන දේ බිම දාලා ගහේ තියන දේ කඩාගන්නමයි..”

හිතේ වේදනාව දරාගන්න බැරිව සිද්ධවෙන දේවල් නිෂානි ට කිව්වම නිෂානි කිව්වේ ඒ වගේ කතාවක්. ඇත්ත..ඒ කතාව සහතික ඇත්ත. මට ඒකේ භාවිතාමය උදාහරණයක් වෙලා අතේ තියන ගෙඩිය විදිහට බිමට වැටිලා තැලිලා පෑගිලා පොඩිවෙලා යන්න සිද්ධවුණ නිසා මම ඒක හොඳටම දන්නවා.

ඒ නිසාම මම එයාට යන්න දෙන්න හිත හදාගන්න ඇති. එයා එයාගේ පරණ බැඳීම් අලුත් කරගන්න ඇති. ඒ පරණ හිත එයාව දාලා ගියපු දවසේ එයාට දැනුන දුක, තරහා, අහිමිවීම එයාට ඒ හිතෙන්ම පියවගන්න ඕන වෙන්න ඇති. ඒත් මගේ හිත කීතු කීතු වලට කඩලා දාලා ගියපු වරද කවදාවත්ම සමාව දෙන්න බැරි වරදක්.

මට හිනාවෙලා තවත් ඒ ඇස් එක්ක කතා කරන්න ඕන වුණේ නෑ. මැරෙන්න පණ ඇදපු ආදරේ මැරිලා ගියාම කුණුවෙන්න නොදී මම ඒක වලලලා දැම්මා. ඒ ආදරේ සුසානයට වෙලා මම අදත් හත්දොහේ, තුන්මාසේ විතරක් නෙවෙයි අවුරුද්දේ පිංකමත් කරනවා. ඒක දන්නේ මේ මාතර බීච් එකයි මමයි විතරමයි.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com

Latest News