ඔබේ තරහට - අනුන් පළිද..?

මේ ලෝකේ ජීවිත්වෙන අති බහුතරයක් මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් තරහා ඇතිවීම, එහෙම නැත්නම් ආවේගශීලීවීම සාමාන්‍ය දෙයක්. වෙලාවකට මේ ආවේගය මිනිස්සුන්ට ධනාත්මකව සහය දෙනවා. අමාරු ඉලක්ක ලඟාකරගන්න, කම්මැලි හෝ එපාවීම් මැද වැඩකරද්දි තරහා කියන දේ ආශිර්වාදයක්.

ඒත් බොහෝ දෙනෙක් තමන්ට දැනෙන මේ ආවේගය නිසිපරිදි පාලනය කරගන්නේ නැති නිසා එහි නරක ප්‍රතිඵල ඔවුන් වටා ඉන්න පුද්ගලයන්ට, සතුන්ට, බඩු භාණ්ඩවලට විඳින්න වෙනවා. ඒක ආවේගය පාලනය කරගන්න බැරිකම වගේම තරහා සෘණාත්මකව බලපෑමක් විදිහට දකින්න පුළුවන්.

සමහර අය තමන්ට තරහා ආවම ඒක නිවාගන්න, පාලනය කරගන්න උත්සහ නොගෙන පුළුවන් තරම් කරන්නේ තමන්ගේ සහකරු/සහකාරිය/පවුලේ හිතවතුන් හෝ යහළුමිත්‍රයින් පිටින් නිදහස් කරන එකයි. බොහෝවිට මේ ක්‍රියාව නිසා දැඩි පීඩනයක් පිටවෙනවා. සමහරවිට යාළුමිත්‍රකම්, සබඳතා නැතිවෙන්න පවා ඉඩ තිබෙනවා මේ තරහා පිටකරන ක්‍රමවේදය නිසා.

තවත් අය කරන්නේ තරහා ආවම බඩු මුට්ටු පොලවේ ගහන එක, විනාශ කරන එක. එහෙම කරලා වැඩිපුරම විනාස කරගන්නේ තමන්ම අමාරුවෙන් උපයගත්ත දේවල්. අන්තිමට තරහා නිවුනම තමන්ට තමන් ගැනම දැනෙන්නේ බරපතල කළකිරීමක්. ඇතැම් වෙලාවට සුරතලේට ඇතිකරන සත්තුන්ට ගහලා, මරලා දාන තරමට මේ ආවේගයන් ප්‍රබලයි.

ඒ නිසා ආවේගය තවත් කෙනෙක් හෝ තවත් දෙයක් මතින් පිටකරලා දාන එක බුද්ධිමත් මිනිසෙකුගේ ලක්ෂණයක් නෙවෙයි. තරහා ඇතිවීම සාමාන්‍ය දෙයක් නම්, තරහා ඇතිකරන්නේත් තමන් වටා තිබෙන සාමාන්‍ය සාධක විසින් නම්, තරහා නිවන ආකාරයත් සාමාන්‍ය දෙයක් විය යුතුයි වගේම ඒක තමන්ටම හිතලා කරගන්න පුළුවන් දෙයක්.

මේ ආවේගය කියන එක බොහොම ඉක්මණින් ඇතිවෙනවා. ඒකට ශරීරයේ හෝමෝන වගේම රුධිර පීඩනයක් දායක වෙනවා. ඒ වගේම වෙලාවට හදවතට බුද්ධිය ඉක්මවලා මතුවෙන්න ඉඩදුන්නොත්, හදවතට ඕන විදිහට වැඩකරන්න ගියොත් තමයි ආවේගය පාලනය කරගන්න බැරිව බොහොමයක් ප්‍රශ්න ඇතිවෙන්නේ. ඒ නිසා තරහා ගියපු වෙලාවට මෙන්න මේ වගේ දේවල් කරලා බලන්නකෝ.

තදින්ම තරහා ආපු වෙලාවට පුළුවන්නම් ඒ ගැන බොහොම විවෘතව කතාකරන්න පුළුවන් කෙනෙක් එක්ක කතා කරන්න. හිතේ තියන තරහා සහ ඒකට අදාල දේවල් ගැන හොඳට හිතලා සංවේදීව කතාකරන්න. අනිත් කෙනා දෙන උපදෙස් වලටත් ටිකක් කන් දෙන්න. ටික වෙලාවක් මෙහෙම කතාකරද්දි ඉබේම තරහා ඔබෙන් පිටවෙලා යනවා.

සංගීතයට සවන් දෙන්න, මිහිරි සෞම්‍ය නාදයක් නම් වඩාත් හොඳයි. එතකොට ඉබේම හිත නිවෙනවා. නැත්නම් ලස්සන චිත්‍රයක් දිහා බලාගෙන ඉන්න. හුරතල් දරුවෙක් දිහා බලාගෙන ඉන්න. ඒ වගේ සුන්දර දේවල් දැක්කම, වින්දම ආවේගය සෑහෙන්න පාලනය වෙනවා.

තරහා ඇතිවෙද්දි හිටපු තැනින් පිටත්වෙලා වෙන කොහේ හරි නිදහස් තැනකට යන්න. පයින් ඇවිදගෙන යද්දි, වටපිට හොඳින් නරඹන්න. හිතින් ඒ නිදහස් පරිසරය විඳින්න, එතකොට හිතට දැනෙන සැහැල්ලුව එක්ක තරඟ කරන්න ආවේගයට බෑ.

ජීවිතේ ඔබ වැඩියෙන්ම සතුටුවුනු අවස්ථාවක් මතක් කරගන්න, නැත්නම් ජීවිතේ ඔබ වැඩියෙන්ම ආදරේ කරන කෙනා මතක් කරගන්න. ඔහු හෝ ඇය එක්ක සතුටින් ගතරකන මොහොතක් ගැන සිහියට ගන්න.

හොඳ ස්වාභාවික තැනකින් හරි නැත්නම් වතුර මල යටට ගිහින් හරි හොඳට නාගන්න. ඇඟට සීතල වතුර වැටිලා ඇඟේ මස්පිඩු, ස්නායු නිවෙද්දි තරහත් ඉබේම නිවිලා යනවා.

ඔබට තේරෙනවා නේද තරහා, ආවේගය කියන්නේ දීර්ඝකාලීන මානසික තත්වයක් නෙවෙයි. ඒක බොහොම කෙටි කාලීනයි. හොඳම දේ තරහා ඉක්මණින්ම නිවාගන්න එක වගේම නැවත නැවත ඇතිවෙන එක වැලැක්වීම. හිතට දැනෙන තරහා සන්නිවේදනය කරගෙන යහපත් විදිහට ජීවත්වෙන්න පුළුවන්නම් ඔබේ තරහා කාටවත් ඇණයක් වෙන එකක් නෑ කවදාවත්ම.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com

Latest News