කියවීමෙන් කාන්තාව පරිපූර්ණ වෙනවාද?

‘කියවීම’ කියන වචනය සිංහල භාෂාවෙදි අවස්ථාවන් දෙකක් සඳහා අදාල වෙනවා. එකක් තමයි පොත්,පත්තර,ලේඛන වැනි දේවල් පරිශීලනය කිරීමේදී සිදුකරන කියවා බැලීම කියන අදහස. අනිත් එක තමයි මොනවාමහරි දෙයක්, තොරතුරක් සම්බන්ධයෙන් කවුරුන් හෝ වෙත අදහසක් පළකිරීමේදී කරන කියවීම. ඇතැම්විට ගැමි ව්‍යවහාරය ඇතුලේ මේක ‘කියවිල්ල’ කියලත් සඳහන් වෙනවා.

ඒත් ඉංග්‍රීසි භාෂාව ඇතුලේ කියවීම කියලා අදහස් කරන Reading කියන සංකල්පය හෙවත් ලේඛන කියවා බැලීම තුලින් මිනිසා පරිපූර්ණ වෙනවා කියන අදහස සන්නිවේදනය කරන්න තමයි ‘කියවීමෙන් මිනිසා පරිපූර්ණ වේ’ කියන ප්‍රකාශය ලෝක ප්‍රසිද්ධ වෙන්නේ. ඇත්තටම පහුගිය දවස්වල සාහිත්‍ය මාසය එක්ක පොත් ප්‍රදර්ශනවල, පොත් සාප්පුවල ගැවසුනු, පොත්පත් පෙරලා බැලූ, පොත්පත් මිලට ගත් ජනරාශිය තුල බහුතරයක් හිටියේ කාන්තාවන්. ඇත්තටම කාන්තාවන් මේ තරම් කියවනවද?

එක් පැත්තකින් බැලුවම ඇතැම් කාන්තාවන් සැබෑ ලෙසම පොත් පත් බොහොමයක් කියවනවා. කියවලා නිකන් ඉන්නේ නෑ ඒ ලබාගත්ත දැනුම, අත්දැකීම්, අදහස් යථාර්ථවාදී ලෙස උපයෝජනය කරගන්නත් මහන්සි වෙනවා. තවත් සමහරු කියවපු දේ මනෝරාජික ලෝකයක නවත්තලා සාමාන්‍ය ජීවිතය ඒ විදිහටම ගතකරනවා. තවත් අය පොත් අරගෙන ඒවා රාක්කවල ලස්සනට තැන්පත් කරලා මට මෙන්න මෙච්චර පොත් ගොඩක් තියනවා කියලා හිතාගෙන එයින් තෘප්තිමත් වෙනවා.

මෑත කාලිනව මතුවුණු ප්‍රවණතාවයක් විදිහට සමහර කාන්තාවන්,ගැහැණු ළමයි පොත් මිටියක් අරගෙන එහි ඡායාරූප සමාජජාල ගතකරලා තමන් මෙන්න මේ තරමි පොත් මම කියවනවා කියන සමාජ ආකර්ශණය නැත්නම් ‘පොර මානසිකත්වය’ ට යන්න සෑහෙන්න මහන්සියක් ගන්නවා. ඇත්තටම විය යුත්තේ ඒකද? ඒවා පුංචි එවුන්ගේ පුංචි ආතල් කියලා පැත්තකට දාලා ඉන්න බැරි තත්වයක් තිබෙන්නේ සාක්ෂරතාවයෙන් අපි ලෝකයේ ඉදිරියෙන් හිටයට බුද්ධිමත්කම සහ බුද්ධි ධාරිතාව අතරින් අපි ඉන්නේ තුන්වැනි ලෝකෙටත් පහළ තැනක කියන කටුක යථාර්ථය තේරුම්යන තැනකදියි.

පිරුණු කලේ දිය නොසැලේ වගේ පිරුණු බුද්ධියකින් හෙබි පිරුණු රසාස්වාදයකින් හෙබි මිනිස්සු හිස් දේවල්වලින් සතුටු වෙන්නේවත්, හිස් දේවල්වලින් තමන් ඉදිමෙන්නවත් මහන්සිවෙන්නේ නෑ. එතකොට පොතක් ආසාවෙන් මිලදී ගන්න කෙනෙක් තමන් මුදලක් වැය කරලා ගුණාත්මක පොතක් මිලට අරගෙන ඒක කියවලා ජීවිතේට,දැනුමට යමක් එකතුකරගෙන නිහතමානීව එයින් ජීවිතේ දශමයක් හරි ඉදිරියට යන එක සහ පොත් විලාසිතාවක් විදිහට පාවිච්චි කරමින් තමන්ගේ විලිවසාගැනීම කරන කණ්ඩායමක් එක්ක බැලුවම ලංකාව දවසින් දවස කඩාවැටෙන එකට අමුතු හේතුවක් අවශ්‍යවෙන්නේ නෑ. මේක කාන්තාවන්ට විතරක් පොදු කාරණයක් නෙවෙයි. හැබැයි කාන්තාවන්ගේ බුද්ධිය සහ දැනුම කියන එක පිරිමින්ටත් වඩා රටකට වැදගත් වෙනවා.

ඒ ඇයි? ලංකාවේ ජනගහනයෙන් 52% ඉන්නේ කාන්තාවන්. ඒ වගේ වෘත්තීය ක්ෂේත්‍රයන්හි බහුතරයක් ඉන්නේ කාන්තාවන්. පවුලක දරුවන් දැනුම හුරුකරන කාලය වන වයස 0-5 අතර කාලයේ දරුවන් හැදෙන්නේ කාන්තාවන්ගේ ආශ්‍රයේ, අම්මා, ආත්තම්මා ඇතුලු කාන්තා ඥාතීන්ට කුඩා දරුවන් බොහොම ලැදියි. ඒ  නිසා ඔවුන්ගේ දැනුම තමයි දරුවන් ආදර්ශයට ගන්නේ. ඒ වගේම ලංකාවේ සාතිශ්‍ය බහුතරයක් පෙර පාසල් සහ කුඩා දරුවන්ගේ අධ්‍යාපන ආයතනවල ගුරු වෘත්තියේ යෙදෙන්නේ කාන්තාවන්. ඉතින් කාන්තාවන්ගේ දැනුම සහ බුද්ධිය කියන එක රටක පැවැත්මට,නැගීමට බලපාන ප්‍රධාන කාරණයක්. එවැනි ගාමක කාර්යයක් කරන්නාවූ කාන්තාවන්ගේ බුද්ධිය පටුවීම හෝ මාධ්‍ය සංදර්ශන නිසාවෙන් පටුකරගැනීම කියන්නේ රටකට වෙන්න පුළුවන් ප්‍රධානතම ඛේදවාචකය.

ඒ නිසා කාන්තාව පරිපූර්ණ වන දේවල් වලට වඩා කාන්තාව හිස්භාවයට පත්කරන දේ අද වෙද්දි ලංකාව තුල වැඩියි කියලා පැහැදිලිව පෙන්නට තිබෙනවා. ඒ නිසා පරිපූර්ණත්වයට පත්විය යුතු මාර්ගයන් පවා හිස්කමකට පාර කපද්දි කාන්තාවන් විදිහට අවබෝධඥානයෙන් බැලිය යුතුයි කියන එක ඔලුවට ගන්න එක ඉතාම වටිනවා.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com