සාමාන්‍යයෙන් කාන්තාවකගෙන් ඇහුවොත් පිරිමියෙක් එක්ක කරන්න අමාරුම දේ මොකක්ද කියලා,ඒ වගේම පිරිමින්ගෙන් ඇහුවොත් කාන්තාවක් එක්ක කරන්න අකමැතිම දේ මොකක්ද කියලා කියල ඔය දෙගොල්ලොම දෙන්නේ එකම උත්තරේ කියලා සහතිකයි.උත්තරේ තමයි සාප්පු සවාරි යන එක.
ඔබ කාන්තාවක් නම් ඔබට සහකරුවෙක් ඉන්නවා නම් හොඳටම දන්නවා ඇති කොච්චර අමාරුද බහුතරයක් පිරිමි සාප්පු සවාරියකට එක්කන් යන එක කියලා .ඔවුන් කැමතියි මොකක්ම හරි හේතුවක් කියලා අදාල ගමන මගහරින්න.ඇයි පිරිමි මෙච්චරම සාප්පු සවාරි වලට අකමැති?.ඒකට හේතු ගණනාවක් බලපාන්න පුළුවන්
- කඩ සාප්පු වල රෙදිපිළි තෝරමින් කාලය ගත ගත කරන්නට තියෙන අකමැත්ත නිසා.
- සාප්පු සවාරියක් කියන්නේ සමහර වෙලාවට පිරිමියෙක්ගේ පොකට් එකට මාරාන්තික හානි සිදු කරන දෙයක් නිසා.
- තමන්ගේ සහකාරිය එක එක ඇඳුම් ඇඳගෙන ඇවිත් තමන්ගෙන් ලස්සනද කියල අහද්දි ඇත්ත කියනව ද බොරු කියනවද කියලා තෝර ගන්න බැරි නිසා.
- ඇත්තටම වැඩ රාජකාරි බහුල නිසා.
මෙන්න මේ කියපු හේතු කාරණා නිසා පිරිමියෙක්ව සාප්පු සවාරි ගෙනියන එක හරියට හරියටම හරකෙක් මස් කඩේකට ගෙනියනවා වගේ වැඩක්.ආදරේ කරන මුල් කාලේ කැමැත්තෙන්ම සාප්පු සවාරි යන්න ආවත් පස්සේ පස්සේ පිරිමියට ම මේ වැඩේ වාතයක් වෙනවා.
අන්න ඒක නිසා මේ කතාව කාන්තාවට ගොඩක්ම වැදගත් වේවි.කන්තා ගොඩක් වෙලාවට කැමතියි තමන්ගේ සැමියා නැත්නම් පෙම්වතා එක්ක සාප්පු සවාරි යන්න. එකක් තමයි තනියම යන්න තියෙන අකමැත්ත,තවත් දෙයක් තමයි මූල්‍ය අනුග්‍රහයක් ලබා ගන්න පුළුවන් වෙන එක.ඒ වගේ ම ලස්සන කැත ගැන අහල දැනගන්න.
මේ මොනවා කරන්නද පිරිමියා සාප්පු සවාරියට කැමති කරගන්න වෙනවනේ. ඒ නිසා ඔබ මෙන්න මේ දේවල් ටික අනුගමනය කරලා බලන්නකෝ. ගොඩක් වෙලාවට සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න පුළුවන් වේවි.
- සාප්පු සවාරිය ගැන පුංචි සැලැස්මක් හදාගන්න. ඒ කියන්නේ ඔබට ගන්න ඕන දේවල් පුංචි කොලේක ලියාගන්න. ඒවා ගන්න පුළුවන් පහසුම සහ නිවැරදිම තැනත් ඒ එක්කම ලියාගන්න. එතකොට ඔබේ සහකරුවා ගොඩක්ම අකමැති දේ වෙන එකම දේ තෝරගන්න කඩයක් කඩයක් ගානේ රස්තියාදු වෙන්න සිදුවෙන එක අඩුවෙනවා.
- ආත්මාර්ථකාමී නොවී ඔබේ සහකරුවාට අවශ්‍ය දේත් ඒ අතරෙම මිලට ගන්න සැලසුම් කරන්න. ඒ කියන්නේ සමහරවිට ඔබේ සහකරුවා ඔය මොකක්හරි දෙයක් උඩින් පල්ලෙන් බලලා තෝරගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔබ එක්ක සාප්පු සවාරි යන මොහොතේ ඔබ හොඳින් හොයලා බලලා ඔහුටත් ලස්සන, ගැලපෙන දේවල් ගන්න උදව් කරන්න. වැඩේ අල්ලලා ගියොත් අනිත් වෙලාවට ඔහුට අවශ්‍ය දේවල් ගන්න යන්නත් ඔබටම කතා කරාවි. ඉතින් ඔබට ඕන වැඩෙත් ඒ එක්කම වෙනවා නේ එතකොට.
- සාප්පු සවාරිය අතරේ පුංචි විවේකයක් ගන්න. ඒ අතරේ ඔබ දෙන්නම කැමති දෙයක් කන්න, බොන්න. ටිකක් වාඩිවෙලා ලඟට වෙලා පාඩුවේ කතාබස් කරන්න. සාප්පු සවාරියෙන් බැහැරි දේවල් ටිකක් ගැන සුන්දර විනෝදකාමී කතාවකට යොමුවෙන්න අමතක කරන්න එපා. එතකොට ඔබේ සහකරුට දැනෙන කම්මැලිකම, එපාවීම මගහැරිලා ඔහුත් නැවුම් වෙනවා.
- සහකරු පැත්තකට දාලා කඩවල් වල දකින් දකින දේවල් පස්සේ දුවන්න එපා. ඔහුව ලඟන්ම තියාගෙන, ආදරයෙන් අතින් අල්ලගෙන ඇවිදින්න. දෙයක් තෝරද්දි වුනත් ඔහු ලඟින් තියාගන්න. හැමදේම ඇඟට තියලා මේක ලස්සනයිද? මේක කොහොමද? කියලා අහනවා වෙනුවට ඔහුගෙන් ආදරෙන් ඉල්ලන්න ඔහුගේ කැමැත්තට දෙයක් තෝරලා දෙන්න කියලා ඔබ වෙනුවෙන්. ඒත් නැත්නම් ඔබට ගැලපෙන දෙයක් තෝරලා දෙන්න කියලා සහකරුගෙන් ඉල්ලන්න. පිරිමි හරි කැමතියි මේ වැඩේට, එතකොට අර අකමැතිබව පැත්තකින් තියලා ටික ටික ඔබට උදව් කරන්න පෙළඹේවි. මොකද ඔවුන් හරිම කැමතියි ඔවුන්ගේ මතයට, කැමති දේට තමන්ගේ බිරිඳ, පෙම්වතිය ඉඩදෙනවා කියන හැඟීමට.
- ගොඩක් කාලය වැය කරන්න එපා. ඔබේ සහකරුට මහන්සියි වගේ පේනවනම් බොහොම ආදරෙන් ඔහුගෙන් අහන්න මහන්සිනම් දැන් අපි යමුද කියලා. සමහරවිට ඔහු මහන්සිවුනත් ඉතිරි දේවල් ටිකත් ඔබට තෝරගන්න උදව් කරන්න පුළුවන්. නැත්නම් වෙන දවසක එන්න පොරොන්දු වෙන්න වුනත් පුළුවන්. ඒකට විරුද්ධ වෙන්නේ නැතිව නම්‍යශීලීව එකඟවෙන්න. මොකද කඩසාප්පු කියන දේවල් එක දවසින් වහලා දාන්නේ නෑනේ.
- හෙට්ටු කරන්න, වෙළඳ සේවකයන් එක්ක රණ්ඩුවෙන්න යන්න එපා. මේක බොහොමයක් කාන්තාවන් කරන වැඩක්. අනවශ්‍ය විදිහට හෙට්ටු කරන්න, පොඩි පොඩි දේවල් පදනම් කරගෙන වෙළඳ සේවක සේවිකාවන් එක්ක රණ්ඩුවෙන්න යන එක. පිරිමි මේකට හරිම අකමැතියි. මොකද මේ වගේ පුංචි වෙළඳ භාණ්ඩ පදනම් කරගෙන රණ්ඩු වෙනවා කියන එකට ඔබේ සහකරු පොඩ්ඩක්වත් කැමති වෙන එකක් නෑ. එහෙම වුනොත් වෙන්නේ ආයෙත් කිසිම දවසක ඔබත් එක්ක සාප්පු සවාරියක යන්න ඔහු නොඑන එකයි. ඒ නිසා බොහොම ආචාරශීලීව සහ සන්සුන්ව ඔබේ සාප්පු සවාරිය අවසන් කරන්න. ඒ වගේම මිලට ගත්ත දේවල් සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න.
- සාප්පු සවාරිය අවසන් වෙලා ආපසු යද්දි ඔබේ සහකරුට බොහොම ආදරෙන් හාදුවක් දීලා ස්තූති කරන්න. ස්තූති කලා කියලා ඔබට කිසිම පාඩුවක් වෙන්නේ නෑ. ඔබ එක්ක මහන්සි නොබලා ඔහු ආපු ගමනට ස්තූති කරන්න. ඔහු ගොඩක් සතුටුවේවි ඔබේ ආදරණීය ස්තූතියට වගේම උණුසුම් හාද්දට. ඒ වගේම ඔහු මොනවමහරි දෙයක් ඔබට සාප්පු සවාරිය අතරේ අරගෙන දුන්නානම් ඒකටත් ස්තූති කරන්න. ඒකෙන් ඔහු තෘප්තියට පත්වෙනවා වගේම ආයෙත් හිතේ කහටක් නැතිව ඔබ එක්ක සාප්පු සවාරි යන්න පෙළඹෙන්න හේතුවක් වේවි.
මේ වගේ පුංචි පුංචි දේවල් ටිකකින් පුළුවන් ඔබේ සහකරු අකමැතිව සාප්පු සවාරි ගමනට ඔහු නොදැනුවත්වම වගේ කැමති කරවාගන්න. මේක රැවටීමක් නෙවෙයි, ආදරණීය එකඟතාවයකට අවශ්‍ය පුංචි උපදෙස් ටිකක්. ඔබත් කරලාම බලන්නකෝ.