අලුත් අවුරුද්ද සුබ වෙන්න මන්තර 10 ක්..

මුලින්ම ඔබ සැමට ලැබුවාවූ 2019 වර්ෂය සුබම සුබ නව වසරක් වේවා කියලා her.lk කාර්ය මණ්ඩලය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. මෙහෙම සුබ පැතූ පමණින් හැමෝගෙම අවුරුද්ද සුබ වෙනවනම් ඉතාම හොඳයි, ඒත් එහෙම නොවෙන නිසා අපිට අලුත් අවුරුද්ද සුබ කරගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා.

ඒ නිසා අලුත් අවුරුද්දේ මුල්ම දවසේ මේ අවුරුද්ද ඔබේ ජීවිතේ සුබම අවුරුද්ද කරගන්න, සුන්දරම අවුරුද්ද කරගන්න, වාසනාවන්තම අවුරුද්ද කරගන්න නොවරදින මන්තර 10ක් කියලා දෙන්නයි මේ සූදානම. මේවා ලෝකය පුරා බොහෝ දෙනෙක්ට සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න ලැබුණු මන්තර නිසා මේවා අතිශයින්ම වැදගත් සහ රහසිගතයි.

එහෙනම් මෙන්න මන්තර ටික..

  1. මට ඉලක්ක තියනවා - මම ඉලක්ක ලඟා කරගන්නවා.

උදේ නැගිටින වෙලාවට හිතින් කල්පනා කරන්න ඔබේ ඉලක්ක ගැන, ඒ ඒ මාසවලට, ඒ ඒ කාලවලට බෙදාගත්ත ඉලක්ක වෙත ඔබ යනවද කියලා කල්පනා කරන්න. එහෙම නැත්නම් ඒ ඉලක්ක ලඟා කරගන්න හොඳම ක්‍රම කල්පනා කරලා හිතෙන් මේ මන්තරය ඔබටම කියන්න.

  1. මම පරදින්නේ නෑ

ඔබේ ජයග්‍රහණය තියෙන්නේ ඔබේ ලඟමයි. ඒ නිසා අවශ්‍යවෙන්නේ ඔබේ හිත පරාජය බාරගන්න සූදානම් නොවීමයි. ඒක නිසා ජයග්‍රහණය වෙනුවෙන් හිත සූදානම් කරගන්න නිතරම මේ මන්තරය කියන්න.

  1. බාධාවන් මට ඉතා වැදගත් පාඩමක්

බාධාවන් නැති දෙයක් නෑ. ඒත් ගඟක් වුණත් ලස්සන වෙන්නේ අතරමග ඇතිවෙන බාධා එක්ක. ඒ නිසා බාධාවන් ඔබේ ජීවිතය ලස්සන කරනවා, බාධාවන් අපිට හොඳ පාඩම්, ඒ නිසා ඒ පාඩම් වලින් අපිට ලැබෙන දේවල් බොහොමයි. බාධාවන් මට ඉතාම වැදගත් පාඩම් කියන එක නිතරම ඔබටම කියන්න.

  1. මම නිර්මාණශීලීයි ඒ නිසා මම දක්ෂයෙක්

නිර්මාණශීලීත්වය තමයි ඕනෑම ක්ෂේත්‍රයක ඔබේ දියුණුවට තියන හොඳම ශක්තිය. ඔබ නිර්මාණශීලී නම් ඔබව කොපි කරන අයට ඔබව ඉක්මවා යන්න බෑ, ඔබ නිර්මාණශීලී නම් ඔබව සමකරන්න බෑ. ඒ නිසා ඔබේ දක්ෂකම ගැන මේ මන්තරයෙන් ඔබටම කියන්න.

  1. මගේ කළමණාකාරණය හොඳම කළමණාකරණයයි.

කළමණාකරණය කියන්නේ සම්පත් ඵලදායීව සහ කාර්යක්ෂමව උපයෝජනය කිරීමයි. ඒ නිසා ඔබේ කළමණාකරණය ඉතා හොඳ නම් ඔබේ දියණුවට ඇති ප්‍රධානාම මාර්ගය ඒ නිසා ඔබේ කළමණාකරණයේ හැකියාව ගැන ඔබ ඔබටම පොරොන්දු වෙන්න.

  1. මම විශ්වාසවන්තයෙක්

ඔබව විශ්වාස කරන ඔබ ආසන්නයේ ඉන්න අයට, ඔබේම අයට ඔබේ විශ්වාසවන්තභාවය ඉතාම වැදගත්. ඒ නිසා ඔබ ඔබෙන්ම අහන්න ඔබව විශ්වාසකල හැකි අයෙක්ද කියලා. එහෙම නැත්නම් ඉක්මණින්ම එහෙම කෙනෙක් වෙන්න. කියන වචනයක් ගානේ විශ්වාසය තැබිය හැකි කෙනෙක් වෙන්න. එතකොට මේ අවුරුද්දේ දිනපතාම මේ මන්තරය ජප කරන්න ඔබට පුළුවන්.

  1. මේ ලෝකය ලස්සනයි - ඒ සුන්දරත්වය විඳිනවා

මේ ලෝකය අපි හිතනවට වඩා හරි ලස්සනයි. නමුත් ඔබ රාමුවක කොටුවෙලා ඉන්න තාක්කල් ඒ ලස්සන පේන්නේ නෑ. බොරු කාර්යබහුලත්වයෙන් මිදිලා මේ ලෝකයේ ලස්සන සුන්දරත්වය විඳින්න. මේ මන්තරය නිතරම කියන්න, ඒක ඔබේ මානසික නිදහසට විශාල හයියක්.

  1. මම සොඳුරු මිනිසෙක්

මිනිසා සොඳරු වෙන්නේ ගුණාංග එක්කයි. අපි හැමෝම තුල සොඳුරු ගුණාංග ගණනාවක් තිබෙනවා. ඒ ගුණාංග තවත් ඔබ මට්ටම් කරගන්න ඔබ දිනපතාම මේ මන්තරය ඔබටම කියන්න.

  1. මගේ ශක්තිය ඇත්තේ මා තුලමයි.

ඔබේ ශක්තිය ඇත්තේ ඔබ තුලයි. එය එලියට ගන්න මේ මන්තරය නිතරම කියන එක ඉතාම වැදගත්. විශේෂයෙන්ම ඔබ වැටෙන වෙලාවන්හීදී මේ මන්තරය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත්.

  1. මේ හොඳම වෙලාවයි - දැන්ම කරමු

හොඳම නැකත තමයි මේ වෙලාව. ඒ කියන්නේ ඔබ හොඳින් හිතලා බලලා යමක් කරන්න සූදානම් වෙන වෙලාව තමයි හොඳම නැකත. ඒ නිසා මේ මන්තරය නිතරම කියන්න. එතකොට ඔබ දේවල් පස්සට දාන්නේ නැතිව, හෙටට කල් දාන්නේ නැතිව අදම කරන එකෙන් ඔබේ කාලය ගොඩක් ඉතිරියි.

සත්තයි මේ මන්තර දහයට පුළුවන් මේ අවුරුද්ද ඔබේ ජීවිතයේ හොඳම අවුරුද්ද කරන්න. ඕනම පුරුද්දක් දවස් 99ක් එක දිගට කරද්දි ඒක ස්ථිර පුරුද්දක් බවට පත්වෙනවා. ඒ නිසා මේ මන්තර දහය එක්කෝ පාඩම් කරන්න, නැත්නම් කොළයක ලියාගෙන පෙනෙන තැනක අලවා ගන්න. නිතරම මේවා ජප කරන්න. ඔබේ දියණුව වලක්වන්න ඔබටවත් බැරිවෙයි.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com