මාකඳුරේ මධුෂ්ලා හැදුවේ කව්ද?

අතීතයේ ලංකාව පෙරදිග ධාන්‍යාගාරය, ථේරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය නැත්නම් පෙරදිග මුතු ඇටය. ඒත් දැන් දශක කීපයක් තිස්ලේ ලංකාව කියන්නේ දකුණු ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය, ලෝකයේ සියදිවි නසාගැනීම් අතරින් මුල්ම තැන. මේ විදිහට ලංකාවට දැන් දැන් ලැබෙන ගරු නම්බුනාම සම්බන්ධයෙන් ඔලුව උදුම්මාගෙන සිංහ කොඩිය ඉස්සරහා පපුව පුම්බගෙන ඉන්න තරම් අභිමානයක් අපිට ඉතුරුවෙලා නෑ කියන එකනම් සහතිකයි. එක පැත්තකින් අතේ කඩුවක් තියාගෙන කකුල් තුනකින් හිටගෙන ඉන්න සිංහයාටත් ඒක ලැජ්ජාවක් මිසක් ආඩම්බරයක් වෙන්නේ නෑ.

මේ දවස්වල ප්‍රධානම මාතෘකාව මාකඳුරේ මධුෂ්. ලංකාවේ මාධ්‍ය කියන විදිහට ලංකාවේ වර්තමාන පාතාලයේ කිරුළු නොපලන් රජු, එහෙමත් නැත්නම් ගෝඩ් ෆාදර්. ඩුබායි රටේදි කරපු හදිසි වැටලීමකින් තවත් පිරිසක් සමග මධුෂ් ඇතුලු නමගිය අපරාධකරුවන් ගණනාවක් පොලීසියට කොටුවෙනවා. මධුෂ් දිහාවට පොලීසිය ඇහැගහගෙන ඉන්නේ දැන් කාලයක ඉඳන්. අපරාධකරුවන් නීතියේ රැහැනට නතුවීම සහ දඬුවම් ලැබීම කියන්නේ සමාජයක් විදිහට අපි එක පැත්තකින් සතුටුවිය යුතු දෙයක්. ඒත් අනිත් පැත්තෙන් මධුෂ්ලා බිහිකරපු සමාජය ගැනත්, මධුෂ්ලා බිහිකලේ කව්ද කියන එකත් හිතලා බලන්න අපිට සිද්ධවෙනවා. එහෙම නැත්නම් මේ සිද්ධි හුදෙකලා සිද්ධි විදිහට කිසිම විශ්ලේෂණයක් නැතිව පැත්තකට දාන එකෙන් තවත් මධුෂ්ලා සිය ගණනක් බිහිවෙන එක අපිට වළක්වන්න බෑ.

බොහෝ වෙලාවට මේ නීතියේ රැහැනට අහුවෙලා දඬුවම් විඳින, නැත්නම් පරලොව යන බොහොමයක් අපරාධකරුවන් මේ රටේම අම්මලා තාත්තලාගේ අහිංසක දරුවෝ විදිහට ඉපදීමත් ඒත් පහුකාලීනව  නම ගිය අපරාධකරුවන් බවට පත්වීමත් අතරමැද සිද්ධි මාලාව බොහෝදෙනෙක්ගේ අවධානයට ලක්වෙන්නේ නෑ. මේ බොහොමයක් සිද්ධි අතරේ තියෙන්නේ දෙමව්පියන්ගේ රැකවරණය නොමැතිවීම්, තමන් ජීවත්වෙන අපට පරිසරයෙන් ලැබුණු වැරදි ආදර්ශ, සමාජයෙන් විවිධ පළිගැනීමට ලක්වීම් වගේ කාරණා. ඒවා අපරාධකාරයෙක් හැටියට වැඩෙන්න අපූරුවට දායක වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ.

ලංකාවේ බන්ධනාගාර කියන්නේ අපරාධකරුවන් විශ්වවිද්‍යාලයක් කියලා කව්දෝ විද්වතෙක් කියනවා ඇහුණා. ඒ කතාව සහතික ඇත්ත. උදාහරණයක් විදිහට අපි මෙහෙම බලමු. අපේ ගම් පළාත්වල හංදිගානේ කොල්ලෝ එකතුවෙලා පුංචි පුංචි කණ්ඩායම් හදාගෙන ඉන්නවා අපි දකිනවා. සමහරවෙලාවට කාගේ හරි වත්තක තියන පොල් ගහකින් කුරුම්බා ගෙඩියක්, අඹගෙඩියක් කඩාගෙන කණ්ඩායම එක්ක කාලා විනෝද වෙනවා. මේ අතරේ මේ කොල්ලේ නිතර කුරුම්බාකඩන වත්තකට කව්රුහරි නමගිය හොරෙක් පැනලා ගෙදරක බඩුමුට්ටු උස්සගෙන ගියොත් ගෙදර අයිතිකාරයා බොහෝ වෙලාවට සැකයි කියලා මුලින්ම කියන්නේ අර වත්තේ හොරාට කුරුම්බා කඩන ගමේ කොල්ලෝ රංචුව.

අපේ අති කීර්තිමත් පොලිස් දෙපාර්තමේන්තුවත් මේ පැමිණිල්ල බොහොම කැමැත්තෙන් බාරගෙන කිසිම වගවිභාගයක් නැතිව මුලින්ම කරන්නේ අර කොල්ලෝ රංචුව ප්‍රසිද්ධියේ කුදලගෙන වාහනේට දාගෙන, පුළුවන් නම් දෙකක් තුනක් ඇනලා කූඩුවට දාලා උසාවි දාන එක. දැන් මේ කොල්ලෝ රංචුවට තමන් ගැන ලොකු අසරණකමක් වගේම පොලීසිය, අර කිසිම පදනමක් නැතිව පැමිණිල්ලක් දාපු තමන්ගේම ගමේ උදවිය එක්ක වගේම තමන් පයගහලා හිටපු, දැන් තමන්ට සරණක් වෙන්න ඉදිරිපත්වෙන්නේ නැති සමාජය එක්කත් ඇතිකරගන්නේ බරපතල තරහක්, වෛරයක්. හදිසියේවත් බන්ධනාගාරයට යන්න වුනොත් මේ වෛරයත් එක්කම ඉන්න තවත් පිරිසක් මේ කොල්ලෝ ටිකට අහුවෙනවා.

හැබැයි මේ කජුකිරි කොල්ලෝ වගේ නෙවෙයි, ඒ බන්ධනාගාරේ ඉන්නවා හොදට කල්දේරම් බත හුරු, ආයුද හුරු, ලේ හුරු පිරිසක්. මේ කොල්ලෝ ටික බොහොම ඉක්මණට අන්න ඒ පිරිස තමන්ගේ කුලකයේ වීරයන් බවට පත්කරගන්නවා. හිරගෙදර ගතකරන කාලසීමාවේ අයුද, අපරාද, උපක්‍රම ගැන විතරක් නෙවෙයි ගමේදි හොරෙන් බීඩි කොටේ ඇදපු කොල්ලෝ ගංජා, කොකේන්, අෂීස් වලට හුරුවෙන්න පටන්ගන්නවා. අන්තිමට හිරෙන් එළියට එන්නේ ගමේ හොරකුරුම්බා බීපු අහිංසක කොල්ලෝ වෙනුවට අපරාධ වෙනුවෙන් දීර්ඝකාලීන න්‍යායාත්මක පුහුණුවක් ලබපු, සමාජය එක්කම තරහින් ඉන්න කොල්ලෝ පිරිසක්. ඉතින් මේ අතරින් මධුෂ්ලා බිහිවෙන්න බැරිද? මාකදුරේ මධුෂ්ලා බිහිවුණෙත් මේ විදිහට වෙන්න බැරිද? එතකොට මේ වගේ කතා සිය දහස් ගාණක් මේ රටේ තියෙන්න බැරිද?

මේ කතාව මෙහෙම කියාගෙන යද්දි ඔබටත් දැනෙනවා ඇති මට දැනෙන හැගීමම. මධුෂ්ලා මේ තත්වයට පත්කලෙත් මේ සමාජයම නේද? අල්ලසක් නැතිව රටේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් වැඩක් කරගන්න බැරිවෙද්දි, බස් එකක තෙරපිලා කොන්දොස්තරගේ කුණුහර්ප අහගෙන ගමනක් යද්දි, අතේ සල්ලි නැතිකමට බෙහෙතක් ගන්න ගිහින් ඉස්පිරිතාලෙක පෝලිමේ දුක් විඳිනකොට, සුදුසුකම් ඕනවටත් වඩා තිබිලා රස්සාවක් නැතිව ලතවෙද්දි ඔබටත් අනන්තවත් දැනිලා ඇති කාවහරි මරන්න තරම් තරහක්, නැත්නම් මේ සමාජ දේහය එක්කම බරපතල වෛරයක්.

අන්න ඒ වෛරය තමයි මාකඳුරේ මධුෂ්ලා වගේ අය බිහිකලේ. ඒ කොල්ලොත් කාලයක් මේ රටේ දකුණේ, කඹුරුපිටියේ වෙල් යායවල් වල එල්ලේ ගහන්න ඇති, වැව්වලට පැනලා තරඟෙට පීනන්න ඇති, නිල්පාට කලිසම් කොටයක් ඇඳන් ඉස්කෝලේ යන්න ඇති. හැබැයි මත්ද්‍රව්‍ය කිලෝගණන් මේ රටට ගේන, මහදවල් අතපය වෙන්කරලා කපලා දාන, වෙඩි වරුසා මැද්දේ මිනිස්සු පරලොව යවන තරම් තැනකට ඒ කොල්ලෝ පත්වෙන්න ඔබත් මමත් දායක වෙලා තියනවා කියලා අමතක කරන්න බෑ.

මේ සිද්ධිය මැද්දේ බොරදියේ මාළු බාගන්න එකිනෙකා දිහාට ඇඟිල්ල දික්කරන දේශපාලනඥයෝ මාකඳුරේ මධුෂ්ලා බිහිකරන්න මූලික වෙනවා කියන එක අමතක කරන්න බෑ. ගෝනවල සුනිල්ලා, සොත්ති උපාලිලා, ජූලම්පිටියේ අමරෙලා බිහිකරන්න මූලික වුනෙත් ඔය කියන දේශපාලන සනුහරේම තමයි. තමන්ගේ දේශපාලන දාමරිකකම් වෙනුවෙන් රස්සාවක් බලාගෙන තමන්ගේ පසසේ වැටුණු කොල්ලෙක් යොමුකරලා, පස්සේ ඒ කොල්ලට තග් ලේබලය අලවන එක වගේම තග් සංස්ථාවේ ආරක්ෂාව ලබාදීලා තමන්ගේ නිල නොලත් ආරක්ෂකයෙක් බවට පත්කරගන්න දශක ගණනාවක් තිස්සේ ලංකාවේ දේශපාලන පන්තිය කටයුතු කලා. අද මාකඳුරේ මධුෂ්ලා අහුවුණාම මේ රටේ දේශපාලනඥයෝ බරගාණක් තක්බීර්වෙලා ඉන්න හේතුව ඒක තමයි.

අපි හැමදාමත් මතක තියාගන්න ඕන දෙයක් තියනවා. සිද්ධාර්ථ බිහිකරපු සමාජයම තමයි දේවදත්තලත් බිහිකලේ, ජේසුස් බිහිකරපු සමාජයම තමයි ජුදාස්ලා බිහික‍ලේ කියන එක. ඒ නිසා මේ සමාජය මඩ ගොහොරුවක් වුනත් නෙළුම් පිපෙන එක වළක්වන්න බෑ. ඒත් සමාජයක් විදිහට අපි මේ දිහා පුළුල්ව බැලුවොත් තවත් මධුෂ්ලා බිහිවෙන එක තිඹිරිගෙයින්ම නතර කරලා දාන්න පුළුවන්.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com