අන් අය විවේචනය ඔබේ විනෝදාංශය ද? එහෙනම් කියවන්න.

පහුගිය දවසක පැවැත්වුණු විවාහයකට සහභාගීවෙන්න ගියපු වෙලාවේ අලුත් මිත්‍රයෙක් අඳුනගන්න ලැබුණු. මේ මිත්‍රයා තමන්ගේ විස්තර එහෙම කියලා ඇතිවුණු කතාබහ විවාහ උත්සවයේ කම්මැලිකම නැතිකරමින් ගලාගෙන ගියා. ඒත් ටික වෙලාවකින් මේ පුද්ගලයා පටන්ගත්තේ ලංකාවේ දේශපාලනය ගැන කතාවක්.

මේ කතාව ටික ටික ගලාගෙන යද්දි දේශපාලන චරිත විවේචනය කරන්න ඔහු පටන්ගත්තා, ඒක හරි රළු සහ අමිහිරි පදනම් විරහිත විවේචන බවට පත්වුණා. ඇත්තටම ඒවා විවේචනවලටත් වඩා දෝශාරෝපණ සහ පළු අරින බැණුම්. තවත් ටිකකින් ඔහු තමන්ගේ ආයතනය සහ එහි සේවකයන්, පස්සේ ඔහුගේ පවුලේ සාමාජිකයන්, මිත්‍රයන් ගැන මේ විදිහටම විවේචනය කරන්න පටන්ගත්තා.

පුදුම වැඩේ කියන්නේ අන්තිමට එදා විවාහවුණ මනමාලයා සහ මනමාලිය පවා ඔහුගේ දැඩි විවේචනවලට, බැනුම් වලට භාජනය වුණා. අන්තිමට මට සිද්ධවුණේ එතනින් නැගිටලා වෙන තැනකට ගිහින් හොඳ හුස්මක් ගන්න.

ඔබත් සමහරවිට මේ වගේම අනිත් අයව විවේචනය කරන එක පුරුද්දක් කරගත්ත, විවේචනය විනෝදාංශයක් කරගත්ත කෙනෙක් නම් ඔබට එහි ඇතුලාන්තය ගැන ඒ තරම් අවබෝධයක් නැතිව ඇති. ඒ නිසා මේ ලිපිය ඔබට වැදගත් වේවි.

ගොඩක් දෙනෙක් මේ විදිහට අන් අයව දීර්ඝ කාලයක් තිස්සේ පුරුද්දක් විදිහට විවේචනය කිරීමට හේතු කීපයක් තිබෙනවා.

  • තමන්ගේ ජීවිතයේ ගතකරමින් ඇති කටුක අවධියක් සම්බන්ධයෙන් ඇති වෛරය.
  • හිතට දැනෙන තරහා සහ ක්‍රෝධය පිටකරන මාර්ගයක් විදිහට.
  • ජානමය වශයෙන් හෝ පවුල් පසුබිම ඇතුලේ නිර්දය විවේචනය කියන එක පොදු සාධකයක් වීම.
  • ඔබ කරන රැකියාව

මෙන්න මේ හේතු නිසා ඔබත් විවේචනය විනෝදාංශය කරගත්ත කෙනෙක් නම් ඔබට නොදැනීම ඔබේ මිතුරන්, හිතවතුන් ඔබෙන් ඈත් වෙලා යනවා කියන එක ටික දවසකින් ඔබට තේරේවි. ඔබට විවිධ උත්සව අවස්ථා, වැදගත් අවස්ථාවලට ආරාධනා නොලැබෙනවා කියන එක ඔබට දැනෙන්න පටන්ගනීවි. ඔබත් එක්ක කතාකරන්න එන අය වචනයෙන් දෙකෙන් ෂේප් වෙලා යනවා කියලා ඔබට වැටහේවි. සමස්තයක් විදිහට ඔබව කොන්වෙමින් තිබෙනවා කියන එක තමයි මේ දේවල් වලින් පැහැදිලි වෙන්නේ.

විශේෂයෙන්ම මේ වගේ  දකින දකින හැමදේම, හැම කෙනාවම සාධාරණ හේතුවක් නැතිව නිර්දය විදිහට විවේචනය කරන උදවියට කවුරුවත් උපදෙස් දෙන්න සහ උදව් කරන්න පෙළඹෙන්නෙත් නෑ.

‘ඔය මනුස්සයට තියෙන්නේ මහ කාළකණ්ණි කටක්..කිව්වොත් ආඩපාලියක් තමයි.’

‘ඔය ගෑණිට කිසි කෙනෙක්ව පේන්න බෑ..හැම මනුස්සයගෙම වැරදි විතරයි පෙන්නේ..කිසි ගුණයක් නෑ’

මෙන්න මේ විදිහට සමාජමය හැඳින්වීමක් ඔබ ඇති තැන්වලට වඩා නැති තැන්වලදි ඔබව විස්තර කරන්න පාවිච්චි කරනවනම් ඒක ඉතාම නරක තත්වයක්. මෙහෙම වෙලා තියෙන්නේ ඔබේ විනෝදාංශයක් හරි පුරුද්දක් විදිහට හරි කරගෙන යන අසාමාන්‍ය විවේචනය නිසයි.

නරකම තත්වය තමයි දිගින් දිගටම ඔබ මේ විදිහට විවේචනය කරන්න පටන්ගත්තම ඒක මානසික ව්‍යාධියක් දක්වා ගමන් කරනවා. පස්සේ ඔබ ඔබවම විවේචනය කරන්න ගන්නවා. ඔබ කරන කිසිම දෙයක් ඔබට වටින්නේ නැති වෙන්න පටන්ගන්නවා. එහෙම වුණාම ඔබ කරන කිසිම දේකින් ඔබව සෑහීමකට පත්වෙන්නේ නෑ. එකම වැඩේ දහපාරක් කරන්න වෙනවා. අන්තිමට ඔබ මෙයින් වෙහෙසට පත්වෙලා ඉච්ඡාභංගත්වයට පත්වෙනවා, ඔබ ඔබ ගැනම කළකිරෙන්න පටන්ගන්නවා.

ඉතින්..එතකොට නම් තත්වය ඉතාම නරකයි.

ඇත්තටම විවේචනය කියන්නේ නරක දෙයක් නෙවෙයි. ඕනෑම ආගමික දර්ශනයක, ඉගැන්වීමක විවේචනය හොඳ දෙයක් විදිහට සලකනවා. ඒත් විවේචනයක් හොඳ වෙන්නනම් සිදුකරන විවේචනය සාධාරණ විය යුතුය, කාලීන විය යුතුයි, ප්‍රතිඵලදායක විය යුතුයි වගේම අදාල පුද්ගලයාට ගැලපෙන ආකාරයකින් විය යුතුයි.

ඒ වගේම තමයි ඔබ කිසිවෙකු විවේචනය කරනවානම් ඔබත් නිහතමානීව ඔබ ගැන සිදුකරන විවේචන බාරගෙන නිවැරදි වෙන්න සූදානම් කෙනෙක් විය යුතුයි. බොහෝවෙලාවට මේ පුරුද්දකට විවේචනය කරන අශීලාචාර පුද්ගලයන්ගේ ගති ලක්ෂණ තමයි

  • නිහතමානී නොවීම
  • ඉවසීම ඉතා අඩුවීම
  • විවේචනය කරන දේ සම්බන්ධව නිසි අවබෝධයක් නැතිවීම.
  • සමාජයීය වශයෙන් වෛරයෙන් පසුවීම
  • ඉච්ඡාභංගත්වය

හොඳ දේ තමයි බැරිම වෙලාවක ඇරෙන්න කිසිම කෙනෙක්ව, කිසිම දෙයක්ව විවේචනය කරන්න යන්න එපා. ඒ වගේම විවේචනය කරන්න කලින් ඔබම හිතලා බලන්න එහි ප්‍රතිඵල. පියවර කීපයක් ඉදිරියට හිතන්න. එතකොට අන්තිම ප්‍රතිඵලය හොඳවෙයි කියලා ඔබට හිතෙන්නේ නැත්නම් ඒ විවේචනය නොකර ඉන්න.

විවේචනයක් කරන්න අවශ්‍යවෙන්නේ කටක් සහ වචන ටිකක් විතරයි හැබැයි ඵලදායී විවේචනයකට සහ මගපෙන්වීමකට ඔබට හොඳ පෞර්ශයක්, විනයක්, හික්මීමක් වගේම ඉවසීමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා විනෝදාංශයක් විදිහට අන් අයව විවේචනය කරන්න ගිහින් ඔබ පිරිහීමකට භාජනය වන්නේ නැතිව ඉවසීමෙන් වැඩකරන්න.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com